ආපදා තත්ත්වයෙන් 38,040 ක් අවතැන් – 08ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

එසේම දිස්ත්‍රික්ක 15කට වර්ෂාවෙන් බලපෑම් එල්ල වී ඇති අතර පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

තවත් පුද්ගලයින් 38,040 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රධාන ගංගා රැසක් පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි ගඟ, කළුගඟ, ගිංගඟ, නිල්වලා ගඟ සහ මහවැලි ගඟ පිටාර ගැලීම පටන්ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට අමතරව මහඔය සහ අත්තනගළුඔය ද පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 08කට නිකුත් කර ඇති නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය පවසයි. අද(22) පස්වරු 5.00 දක්වා මෙම අනතුරු ඇගවීම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේය.

කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, බදුල්ල, මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අදාළ දිස්ත්‍රික්කවල නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටිම්, පොළව ගිලා බැසීම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර අද (22) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *