ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගතිය අධීක්ෂණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යථාර්ථයක් කරගැනීම සඳහා දේශපාලන බේදයෙන් තොරව එක්වන්නැයි ජනපති සියලුදෙනාගෙන් ඉල්ලයි.

ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ අරමුණු යථාර්ථයක් කරගැනීම සඳහා දේශපාලන බේදයෙන් තොරව එක්වන්නැයි ජනාධිපතිතුමා අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලයි.

ජනතාව වෙනුවෙන් ගොඩනැංවූ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප‍්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ(21) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී එක්වෙමින් ජනාධිපතිතුමා මෙම ඉල්ලීම කළේය.

ඌව පළාත තුළ ග‍්‍රාමශක්ති ව්‍යාපාරය කි‍්‍රයාත්මක වන අන්දම සහ එහි ප‍්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.

දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශ්වයම මීට එක්ව සිටී අතර, ඌව පළාතේ ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳව ද මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.
එම ගැටලුවලට දැඩි ඕනෑකමකින් ඇහුම්කන්දුන් ජනාධිපතිතුමා ඉදිරිපත් කෙරුණු ඇතැම් ගැටලුවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳව ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්කණුවෙල ග‍්‍රාමනිලධාරි වසම තුළ වසා දමා ඇති බෑග් කර්මාන්ත ශාලාව ග‍්‍රාමශක්ති ජනතා ව්‍යපාරය යටතේ කඩිනමින් ආරම්භ කර කි‍්‍රයාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

එමෙන්ම මොණරාගල දිස්ති‍්‍රක්කයේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරින්ගේ විශේෂ අවධානය යොමු කළේය.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

පැවති නියං තත්ත්වය පහව ගොස් වසර 05 කට පසුව ප‍්‍රමාණවත් වැසි තත්ත්වයක් අපට ලැබී තිබෙන අතර එම ජලය කළමනාකරණය කර ගනිමින් ඉදිරි කෘෂිකර්ම කටයුතු සාර්ථක කර ගැනීමේ වදැගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අප රටට ඉහළ ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කළ හැක්කේ කෘෂි ආර්ථිකය පදනම් කරගත් ආර්ථික රටාවක් තුළින් වන අතර, එහි ප‍්‍රමුඛ වැඩකොටසක් ඉටුකිරීම වෙනුවෙන් ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගනිමින් සශ‍්‍රීක රටක් ගොඩනැගීම සඳහා දේශපාලන පක්ෂ බේදයකින් තොරව වගකීම් ඉටුකිරීමට කැපවන්නැයි ද මෙහිදී ජනාධිපතිතුමා සියලු ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පළාතේ මහජන නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටී අතර මෙම නව වැඩපිළිවෙළ පිළිබඳ ප‍්‍රසාදය පළ කළ ඔවුන් එය සාර්ථක කර ගැනීම වෙනුවෙන් සිය උපරිම සහය ලබාදෙන බවට ජනාධිපතිතුමා වෙත සහතික විය.

ඌව පළාත් ග‍්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදුවූ අතර, එම මල් වගාකරුවන්ගේ නිෂ්පාදන සම්මත මිල ගණන් යටතේ ලබාගන්නා බවටත් අදාළ නව තාක්ෂණය සහ උපකරණ සමාගම විසින් මල් නිෂ්පාදකයින් වෙත ලබාදෙන බවටත් එම ගිවිසුම මගින් සහතික කෙරිණි.

දේශීය හා විදේශීය වෙළෙඳපොළ අරමුණු කරගෙන සීමා සහිත හේලීස් ආයතනයේ දායකත්වයෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ වැලිමඩ, ඌව පරණගම හා හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම විසිතුරු මල් වගා කිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වේ.

බදුල්ල සහ මොණරාගල දිස්ති‍්‍රක්ක සඳහා ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වෙනුවෙන් රජය ලබාදෙන මුදල්වල පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ඒ අනුව බදුල්ල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 22.5 ක් ද මොණරාගල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 16.5 ක් ලබාදීම සිදු කෙරිණි.

දිළිඳුකම පිටුදැකීමේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දියත් කෙරිණි. එදා මෙදා තුර දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් සිදු කෙරුණු බොහෝ ව්‍යාපෘති දියත් කෙරුණේ රජය සහ ජනතාව අතර ගනුදෙනුවක් වශයෙනි. එහෙත් ග‍්‍රාමශක්ති ව්‍යාපාරය පළමු වරට, දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් ලෙස සාර්ථකවීමට පෞද්ගලික අංශයේ දායකත්වය විධිමත් පරිදි යොදා ගැනීමට කටයුතු කරයි. එසේ කරනුයේ, ජනතාවගේ නිෂ්පාදනවලට වඩාත් හොඳ සහ ස්ථාවර මිලක් සහ අඛණ්ඩ වෙළෙඳපොළක් සම්පාදනය කිරීම සඳහායි.

ජනතාවට ස්වාධීනව නැගී සිටීමට අවශ්‍ය විභවය හඳුනාගෙන, ජනතාව විධිමත්ම සංවිධානය කොට ඉන් අනතුරුව, විශාල සමාගම් සමග සම සමව උරෙනුර ගැටී කටයුතු කළ හැකි ක‍්‍රමයක් මේ හරහා ඇති කෙරේ.

දිළිඳු ජන සංඛ්‍යාව වැඩි වශයෙන් ජීවත්වන දිස්ති‍්‍රක්ක වෙත ප‍්‍රමුඛතාවය ලබා දෙමින් ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබෙන අතර, ආරම්භයේ ගම් 1000 ක් ආවරණ කරමින් 2020 වර්ෂය වන විට ගම් 5000 ක් දක්වා ව්‍යාප්ත කිරීම සිදු වේ.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරින් ප‍්‍රනාන්දු, ඩිලාන් පෙරේරා, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනයක යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ පළාත් සහ ප‍්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද, පළාතේ රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *