පුත්තලමේ මහා ජල ව්‍යාපෘතියට වැස්ස හරස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පුත්තලම දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශ 05 ක් සම්පූර්ණයෙන්ම ආවරණ වන පරිදි කි‍්‍රයාත්මක ජල යෝජනා ක‍්‍රමයේ ඉදිකිරීම් කටයුතු කල් දැමීමට සිදුව තිබේ.

අධික වැසි හමුවේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය මෙයට හේතුවයි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ අදාල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ලබන ජූනි මස 02 දා ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.

එම කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ මැයි මස 23 දාය. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 8625 කි. ස්පාඤ්ඤ රජය මේ සඳහා අධාර සපයයි.

ආණමඩුව, නවගත්තේගම, මහකුඹුක්කඩවල, මුන්දලම හා පුත්තලම යන ප‍්‍රාදේශිය ලේකම් බලප‍්‍රදේශ සියල්ල ආවරණ වන පරිදි පානීය ජලය සැපයීමට මෙමගින් සැලසුම් කර තිබේ. එමෙන්ම වයඹ පළාතට අයත් කොටවෙහෙර හා ගල්ගමුව යන ප‍්‍රදේශ වෙතද මෙම ව්‍යාපෘතිය යටතේ ජලය ලබා දීමට සැලසුම් කර ඇත. ඉගිනිමිටිය වැවට පහළින් වූ ප‍්‍රදේශයේ පොකුණක් ඉදිකිරීමට නියමිත අතර, ජල පිරිපහදුව ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේද එම ස්ථානයේයී. ව්‍යාපෘතියට අදාලව තවත් ඇල මාර්ග කිහිපයක්ද ඉදිකිරීමට නියමිතයි. ඉගිනිමිටියේ සිට දිවෙන ජලය බෙදා හරින නල පද්ධතිය කිලෝමීටර් 400 ක් තරම් දුරට දිවයයි.

යෝජිත නව ජල යෝජනා ක‍්‍රමය යටතේ ස්ථාන හතරක ප‍්‍රධාන ජල ටැංකි හතරක් ස්ථාපිත කෙරේ. මහකුඹුක්කඩවල තරුණ ව්‍යාපාරයේ පළමු ජල ටැංකිය ස්ථාපිත කිරීමට නියමිතයි. දෙවැන්න ආණමඩුව ගම්උදා භූමියේද තෙවැන්න මුල්ලේගම ප‍්‍රදේශයේද ඉදිකිරීමට සැලසුම් කර තිබේ. සිව්වැනි ජල ටැංකිය ඉදිවන්නේ ඔලගන්විල්ලූව ප‍්‍රදේශයේයී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *