අද රාත්‍රියේ සිට වර්ෂාවේ වැඩි වීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් විශේෂයෙන් අද(23) රාත්‍රියේ සිට බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

යාපනය,මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල උදැසන කාලයේ දීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකිය.මුලතිව්,ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දීමක් ද කරනු ලැබේ.

දිවයිනට ඊසාන, වයඹ, බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්වයේ වැඩි වීමක්, ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තුවේ.

කන්කසන්තුරේ සිට පුත්තලම,කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *