රජීව් ගාන්ධි ඝාතනය ගැන තවදුරටත් විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සිද්ධියේ විමර්ශන කටයුතු තවමත් අවසන් කර නොමැති බවත් තවදුරටත් ඒ හා සම්බන්ධ විමර්ශනයන් සිදු කෙරෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් මැයි 21වන දිනට මෙම ඝාතනයට වසර 27ක් සම්පූර්ණ විය.

රජීව් ගාන්ධි ඝාතනය සිද්ධියේ විමර්ශනයන් මෙහෙයවනු ලබනුයේ සීබීඅයි බහු විපර්යාස නිරීක්ෂණ නියෝජිතායතනය විසිනි. එසේම ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාර්තු මාසයේ දී අදාළ නියෝජිතායතනයට දැනුම් දී ඇත්තේ හිටපු අගමැතිවරයාගේ මෙම ඝාතන සිද්ධිය පිළිබඳ මෙතෙක් මෙහෙයවූ විමර්ශන කටයුතුවල ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසය.

එම නියෝජිතායතනය දැනුම් දී ඇත්තේ මේ පිළිබඳ පරීක්‍ෂණ තවදුරටත් සිදු වෙමින් පවතින බවය. එසේම මේ පිළිබඳ අගවිනිසුරු රංජන් ගොගී වෙත දැනුම් දී ඇත්තේ අදාළ විමර්ශනවලට අවශ්‍ය කරනු ලබන ඇතැම් පුද්ගලයන් ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල සිටින බවත් ඔවුන්ට මේ සදහා සහයෝගය ලබා දීමට දැනුම් දීම් කර ඇති බවත් ය.

1991 මැයි මස 21 වන දින තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදූර් හී දී රජීව් ගාන්ධි ඝාතනය කරන ලදී. ඒ ඔහු මැතිවරණ රැළියකට එක්වෙමින් සිටිය දී ය. ධනූ නැමැති කාන්තාවක් විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණි. එහිදී එම කාන්තාව ඇතුළු තවත් 14දෙනෙකු ද පිපිරීමෙන් ජීවිතක්‍ෂයට පත් විය.

රාජ්‍ය නායකයෙක් ඉන්දියාව තුළ මෙලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ පළමු අවස්ථාව ලෙස ද ඉන්දියාව මෙම සිද්ධිය සලකනු ලැබේ.

ගාන්ධි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 1998 වසරේ දී අධිකරණ විනිසුරු එම් සී ජේන් කොමිසමේ නිර්දේශ මත මෙම සිද්ධිය සීබීඅයි බහු විපර්යාස නිරීක්ෂණ නියෝජිතායතනය වෙත භාර කරන ලදි. එම නියෝජිතායතනය අයිබී, රෝ වැනි බුද්ධි අංශ සහ තවත් ආයතනවලින් සමන්විත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *