මඩකලපුවේ කොළ පැහැති පිපිඤ්ඤා වගා කරන ගොවීන්ට අපනයනය පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කොළ පැහැති පිපිඤ්ඤා වගාව අපනයන මට්ටමෙන් පුළුල් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයත්, හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් HJS Condiments Limited ආයතනයත් එක්ව, අවබෝධතා ගිවිසුමකට ඊයේ (23) අත්සන් තැබී ය.

මෙම ආයතනයට වර්තමානයේ කොළ පැහැති පිපිඤ්ඤා අපනයනය සඳහා තිබෙන ඇනවුම වාර්ෂිකව මෙ.ටො. 22,000 කි. දැනට ජාත්‍යාන්තර වෙළඳපොලේ කොළ පැහැති පිපිඤ්ඤා අපනයනය හරහා හුවමාරු වන මුදල් ප්‍රමාණය ඇ.ඩො.මි. 71,857 කි. නමුත් ජාත්‍යන්තර වෙළඳපොලට ශ්‍රී ලංකාවේ කොළ පැහැති පිපිඤ්ඤා තුළ ඇති දායකත්වය ඉතාමත් සුළු ප්‍රමාණයකි. වාර්ෂිකව ජාත්‍යන්තර වෙළඳපොලේ කොළ පැහැති පිපිඤ්ඤා වර්ගය පිළිබඳ පවතින ඉල්ලුම 2.2% කින් ඉහළ යයි.

මෙම කරුණු අවධානයට යොමුකර ගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවීන් 500 ක් අපනයනය සඳහා කොළ පැහැති පිපිඤ්ඤා වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා යොමු කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අක්කර 500 ක මෙම පිපිඤ්ඤා වගා කෙරෙන අතර එමඟින් එක් කන්නයකට, එක් ගොවියෙකුට ලබාගත හැකි ආදායම රු. 2,87,000 කි.

සමස්තයක් ලෙස එක කන්නයකදී එක ගොවියෙකුගෙන් අපේක්ෂිත වගා ඉලක්කය කි.ග්‍රෑ. 10,000 කි.

පසුගිය වසර 10 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන ආදායම 29% සිට 5% දක්වා පහත වැටුණු අතර එම නිසා ගොවීන්ගේ ආදායම වැඩි කිරීම, නිමි අගය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් නිෂ්පාදකයන්, අලෙවිකරුවන්, සේවා සපයන්නන් සම්බන්ධ කරගනිමින් අපනයන කෘෂිකර්මය ඉහළ නැංවීමට පියවර ගත යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ ය.

කොළ පැහැති පිපිඤ්ඤා වගා කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය හා උපදෙස් සමඟින් යුරෝපා, දකුණු ආසියානු රටවල් සහ මැදපෙරදිග වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් මෙහෙයවන අතර වසර 05 ක් මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් කරනු ලැබී ය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *