ලබන සදුදා සිට දැඩි කොන්දේසි යටතේ පාසල් රග්බි තරඟ පැවැත්වීමට අවසර

(කොළඹ, ලංකාපුවත්) – පාසල් රග්බි හරි අතට ගෙන ඒමට පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මැදිහත් වෙමින් ලබන සදුදා (28) සිට දැඩි කොන්දේසි යටතේ පාසල් රග්බි තරඟ පැවැත්වීමට අවසර ලබා දී ඇත.

පසුගියදා පාසල් රග්බි තරඟාවලි පවතින අතර තුර හටගත් කලහකාරී ගැටුම් සම්බන්ධයෙන් අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ අවධානය යොමු විය.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පැවති සාකච්ඡාවේදී පසුගිය තරඟාවලි අතර සිදුවූ ගැටුම් වීඩියෝ දර්ශණවලින් නැරඹීමෙන් අනතුරුව මේ සම්බන්ධව පොලීසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද කොළඹ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති පතිනායක මහතාගෙන් විමසා තිබුණි. ඒ අනුව පොලිස් අධිකාරී මහතා ප්‍රකාශ කළේ මේ සිදුවීම් සම්බන්ධ යම් පැමිණිල්ලක් සිදු කලහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවයි.

එම මොහොතේම අමාත්‍යවරයා විසින් පාසල් රග්බි සංගමය වෙත අදාල සිදුවීම පිළිබද පොලීසිය වෙත පැමිණිලි කරන ලෙස නියෝග කරන ලදි. සිදුවීම සම්බන්ධව සියළු වීඩියෝ පට පොලීසිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද උපදෙස් දෙන ලදි.

පරීක්ෂණ සදහා උපරිම සහාය ලබා දෙන ලෙස දන්වා සිටි අතර නිසි පරීක්ෂණ සිදු කර එම කලහකාරී ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා වැරදිකාරයන් සදහා ඇප ලබාදීමට පොලීසිය පාර්ශවයෙන් විරෝධතාවය දක්වන වන ලෙසද පැමිණ සිටි කොළඹ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති පතිනායක මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

ඇමතිවරයා මේ සිදුවීම සම්බන්ධව වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ මෙලෙස තරඟයක් පැවැත්වෙන අතරතුර කලහකාරී ලෙස හැසිරෙමින් ක්‍රීඩාවට හා එම ක්‍රීඩාංගණයට අලාභානි කරමින් අශෝබණ ලෙස හැසිරෙන පුද්ගලයන් හා පිරිස් සමග සමතමණ්ඩල වෙත ගොස් සාමදාන වීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි. එසේ සිදු කිරීමෙන් නැවත නැවත මෙම සිදුවීම වර්ධනය වී යාමේ ප්‍රවණතාවයක් ඇති වීමට ඉඩ ඇති බව පෙන්වා දෙන ලදි.

මෙවැනි සිදුවීම් සිදුවූ වහාම ඒ පිළීබද ගන්නා ක්‍රියාමාර්ග ඔස්සේ නැවත එවැනි කළහකාරී ගැටුම් සිදුවීම වැලැක්විය හැකි බව පෙන්වා දෙන ලදි. අනාගතයේ පාසල් රග්බි ක්‍රීඩාව ගොඩනැගීම සදහා විනය අනිවාර්යෙන්ම තිබිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාසල් රග්බි ක්‍රීඩා තරඟාවලි පැවැත්වෙන අතර මෙවැනි ගැටුම්කාරී තත්වයන් උද්ගතවීමට මත්පැන් භාවිතා කිරීම මූලික හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව මින් ඉදිරියට පවත්වන කිසිදු පාසල් රග්බි තරඟාවලියක් සදහා ක්‍රීඩාංගණය තුල හෝ ඒ අවට මත්පැන් අලෙවිය තහනම් කරන ලදි.

ක්‍රීඩා පිටිය වෙත මත්පැන් ගෙන ඒම හා මත්පැන් පානය කර පැමිණීම වැලැක්වීම සිදු කල යුතු අතර ඒ සදහා විදුහල්පතිතුමා, ක්‍රීඩා භාර ගුරුවරුන්, ආදිශිෂ්‍යයන්, සංගම් හා තරඟ සංවිධායකයින් ඇතුළු සියළු පාර්ශවයන්ගේ සහයෝගය අවශ්‍ය බව අමාත්‍යතුමා අවධාරණය කරන ලදි. පසුගිය කාලයේදී කළහකාරී ලෙස හැසිරුනු කාඩ්බෝඩ් වීරයන් ඉදිරි තරඟාවලි නැරබීම සදහා පැමිනීම තහනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

එම අවස්ථාවේ ගැටළුවක් ලෙස හදුනාගත් තරඟාවලි සදහා සහභාගීවන රග්බි විනිසුරුකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමටත්, ඔවුන්ගේ තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා ඒ මොහොතේ ප්‍රකාශ කරන ලදි.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මංජුල කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ, රග්බි සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න, පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රෙස්කර, රග්බි විනිසුරු සංගමයේ සභාපති නිෂාම් නිමාල්දීන්, පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ රාමනායක, රග්බි ක්‍රීඩා තරඟාවලි සදහා A,B,C ඛාණ්ඩ යටතේ තරඟවදින පාසල් 36 ක විදුහල්පතිවරුන්, ආදි ශිෂ්‍ය සංගම්වල නිළධාරීන් හා රග්බි ක්‍රීඩාව භාර නිළධාරීන් සහ කොළඹ ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති පතිනායක මහතා සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *