ආපදා අවස්ථාවේදී රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් නිලධාරීන් රජය අපහසුතාවයට ලක් කරනවා – මන්ත්‍රී මරික්කාර්

(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට දිවයිනට බලපා ඇති හදිසි ආපදා අවස්ථාවේදී රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර නිලධාරීන් රජය අපහසුතාවයට ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළොන්නාවේ ගංවතුර ආසනයේ විපතට පත් ජනතාවට පිසූ ආහාර පාර්සල් ලබා දීමේ අවස්ථාවකට එක්වෙමින්ය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියේය.

“මේ වන විට රජය විසින් මුදල් මුදා හැරලා මේ ආපදාවට පත් ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සපයන්න කියලා උපදෙස් දීලා තියෙද්දී රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර නිලධාරීන් රජය අපහසුතාවයට ලක් කරන්න, රජයෙන් කිසිම දෙයක් ජනතාවට ලබා දෙන්නේ නෑ. රජය කිසිම සූදානමක් නෑ කියලා පෙන්නන්න උත්සහ දරනවා. විශේෂයෙන්ම නිලධාරීන්ගේ වාර්තාවල තියෙනවා කොළොන්නාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවතැන් කදවුරු වල 400 ගානක් ඉන්නේ කියලා. ඇත්තටම 5000 අධික ජනතාවක් මේ ගෙවුනු දින 04 දී අවතැන් වෙලා තියෙනවා. ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලින් පහසුකම් දෙන්නේ කදවුරුවල ඉන්න ජනතාවට විතරයි. ඔවුන්ට දෙන්නේ කෑම විතරයි.කෑම ටික කාලා බොන්න වතුර නෑ. මේ දේවල් වලින් අන්තිමට අපහසුතාවය ලක් වෙන්නේ රජය තමයි.

සමහර නිලධාරීන් උවමනාවෙන්ම චක්‍රලේඛන වලට මුවා වෙලා ජනතාවට පහසුකම් නොසපයන්න බලාගෙන ඉන්නවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *