ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 38 වන දම් සභාව පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේදී

(කොළඹ, ලංකාපුවත්) – ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ අධි පොසොන් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ(29) පෙරවරුවේ කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 38 වන දම් සභාව මෙය වන අතර, පට්ඨාන ධර්ම සභාවේ ගරු අනුශාසක යක්කල බෝගමුව බෝධි ග්‍රාම භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමල්වත්ත විපස්සනා භාවනායතනාධිපති ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී පූජ්‍ය කොරතොට වෙස්සභූ ස්වාමින්ද්‍රයාණන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූහ.

අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය පූජ්‍ය දොම්පේ ඉන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.

අනතුරුව ජනාධිපතිතුමා ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට එක්වූ අතර අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිරුන් සහ රාජ්‍ය නිලධාරින් ඇතු`ථ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

මේ අතර කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කෙරුණු මහනුවර යුගයට අයත් ඓතිහාසික විහාර මන්දිරය සහ විෂ්ණු දේවාලය විවෘත කිරීම ද අද ජනාධිපතිතුමා අතින් සිදු විය.

එමෙන්ම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර විහාරස්ථානයේ සූර්ය බලශක්ති පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

සියම් මහා නිකායේ කෝට්ටේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරන්දර ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති පූජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *