ආපදා කළමනාකරණයට ජන බලකායක්

(කොළඹ, ලංකාපුවත්) – ආපදා කළමනාකරණය සඳහා ස්වේච්ඡා ජන බලකායක් පිහිටුවීමට පියවර ගන්නා බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අවදානම් ප‍්‍රදේශවලට මුල් තැන දෙමින් මෙම බලකාය පිහිටුවීමට සැලසුම් කර තිබේ. එක් ග‍්‍රාමසේවා වසමකින් දස දෙනෙකු මෙම බලකායට තොරා ගැනීමට නියමිතයි. එමෙන්ම ඔවුන් වෙත මනා පුහුණුවක් ලබා දීමටද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

දිවයිනම ආවරණ වන පරිදි මෙම බලකාය පිහිටුවීමටත්, ඉදිරි මාස කිහිපය තුළ එම කටයුතු අවසන් කිරීමටත් අපේක්‍ෂිතය.

ජාතික ආපදා කළමනාකරණ කාර්යේදී පුළුල් දායකත්වයක් ලබා ගැනීම මෙම වැඩපිළීවෙලේ අරමුණයි.

දේශගුණික විපර්යාස, අවදානම් සහගත තත්ත්වයන් හදුනා ගැනීම, හදිසි ආපදාවකදී කි‍්‍රයාත්මක විය යුත්තේ කෙසේද, හා ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා දීමටද පියවර ගෙන තිබේ. ආපදා කළමනාකරණ ජන බලකාය සමග එක්වන සියළුම සාමාජිකයින් වෙත විශේෂ සමාජ වටිනාකමක් ලබා දීම සඳහා වූ ක‍්‍රමවේදයක් සැකසීමටද යෝජනා වී ඇති බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මෙම වැඩපිවෙළ සඳහා තෝරා ගත් පළමු කණ්ඩායමට පුත්තලම, වනාතවිල්ලූව, ගගේවාඩිය යුද හමුදා කඳවුරේදී පුහුණුව ලබා දීමට නියමිතයි. එම කටයුතු ලබන 23 දා ආරම්භ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය. ආපදාවෙන් පීඩාවට පත් ආණමඩුවේ ජනතාව වෙත ආධාර ලබා දීම වෙනුවෙන් ආඩිගම රංග ශාලාවේ ඊයේ(04) පැවැති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *