‘‘සියලු යොවුන් බලමුළු ඒකරාශී කරගනිමින් එ.ජා.ප. යේ ප්‍රතිසංවිධාන කටයුතු පියවරෙන් පියවර ඉදිරියට ’’ – ඇමති අකිල විරාජ්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික යොවුන් පෙරමුණ සවිබලගැන්වීමේ විශේෂ වැඩසටහනක් පසුගිය දා ජාතික යොවුන් පෙරමුණේ හිටපු සභාපති, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ජාතික යොවුන් පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රාහී අනාගතයේ තීරණාත්මක සාධකයක් වන බවයි.

ජාතික යොවුන් පෙරමුණ සවිබලගන්වමින් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සඳහා එම පෙරමුණේ ක්‍රියාකාරීත්වය උපරිමයෙන් දායක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ විජයග්‍රාහී මාවත ස්ථිර කිරීමට කටයුතු කරන බව ද මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේය.

එමෙන්ම සියලු යොවුන් බලමුළු සහ එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැඳගෙන සිටින සෙසු පාර්ශව ද ඒකරාශී කරගනිමින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම ජාතික යොවුන් පෙරමුණේ හිටපු සාමාජීකයෙකු මෙන්ම එහි හිටපු සභාපතිවරයා ලෙස තමන් ලද අත්දැකීම් සහ දැනුම ද වත්මන් සාමාජිකියන් සමග බෙදා ගනිමින් ජාතික යොවුන් පෙරමුණ සක්‍රීයව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අදහස් රාශියක් ද මෙහිදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම සාමාජිකයින් හට ලබා දුන්නේය.

ජාතික යොවුන් පෙරමුණේ වත්මන් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා ඇතුළු එහි නායකයින් සහ ක්‍රියාකාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *