ශ්‍රී ලංකාවට යුනෙස්කෝ රාජ්‍ය කමිටු ආසනයක්

(කොළඹ, ලංකාපුවත්) –යුනෙස්කෝ සංවිධානයේ අත්‍යවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ රාජ්‍ය කමිටුවේ ආසනයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවර ඊයේ (06) පැවති යුනෙස්කෝ සංවිධානයේ හත්වන මහා මණ්ඩලයේදී ශ්‍රි ලංකාවට මෙලෙස ආසනයක් හිමිව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

අත්‍යවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ යුනෙස්කෝ සංවිධානයේ රාජ්‍ය කමිටුව සඳහා ආසියානු කලාපයට ආසන 04ක් හිමිව තිබූ අතර එම ආසන 04 සඳහා රටවල් 08ක් තරඟ කරනු ලැබීය.

එම රටවල් 08 අතුරින් චීනය, ශ්‍රී ලංකාව, ජපානය සහ කසකස්ථානය යන රටවල් යුනෙස්කෝ සංවිධානයේ රාජ්‍ය කමිටුවට තේරී පත්වී ඇති බව වාර්තා වේ.

අදාළ ඡන්ද විමසීමේදී චීනයට ඡන්ද 123ක්, ශ්‍රි ලංකාවට ඡන්ද 122ක් , ජපානයට ඡන්ද 127ක් සහ කසකස්ථානයට ඡන්ද 98ක් හිමිව තිබේ.

ඒ අනුව ලබන 2022 වසර දක්වා ශ්‍රි ලංකාව යුනෙස්කෝ සංවිධානයේ අත්‍යවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වූ රාජ්‍ය කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත.

සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ සන්ධිස්ථානයක් ලෙස මෙම කමිටුව සළකනු ලබයි.

2008 වර්ෂයේදී ශ්‍රී ලංකාව මෙම රාජ්‍ය කමිටුවේ පාර්ශවකරුවෙකු බවට පත්වූ අතර ඉන් අනතුරුව පළමු වරට එහි ආසනයක් හිමිකරගැනීමට හැකි වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *