පාතාලය මඬින දෙස්-විදෙස් මෙහෙයුම් වේගවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පාතාල ප්‍රබලයන් මර්දනය කිරීමේ දෙස් -විදෙස් මෙහෙයුම් වේගවත් කිරීමට පියවර ගෙන ඇත. නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතා ඊයේ(11) පොලිස්පතිවරයා සහ සෙසු පොලිස් නිලධාරීන් කැඳවා එම මර්ඳන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අදාළ උපදෙස් ලබා දුන්නේය.

තවද විදේශයන්හි සැඟවී සිටින පාතාල ප්‍රබලයන් සහ මෙරට සිට පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පාතාල සාමාජිකයන් මර්දනය කිරීමට කරගෙන යන මෙහෙයුම් පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර මහතාගෙන් විමසා තිබේ.

අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයාත් සෙසු පොලිස් නිලධාරීන් අතර මේ හා සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි. එහිදි අමාත්‍යවරයා පසුගිය දිනවල පාතාලයේ ක්‍රියාකරකම්වල වර්ධනයවීමක් පෙන්නුම් කළ බවත් ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාරශ්වයන්හි අවධානයට ලක් වු බවත් පෙන්වා දුන්නේය. විශේෂයෙන් මෙරටට අවශ්‍ය එහෙත් විදේශයන්හි සැඟව සිටින පාතාල ප්‍රබලයන් සිදුකරන අපරාධ වළකා ඔවුන් මර්දනය කිරීමට අවශ්‍ය උපදෙස් ද, දැනට ක්‍රියාත්මක වන විශේෂකාර්ය බළකා මෙහෙයුම් තවත් පුළුල් කරන ලෙස ද දැන්වු අමාත්‍යවරයා කිසි ලෙසකින්වත් මෙම පියවරයන් ලිහිල් නොකරන ලෙසට උපදෙස් දී තිබේ.

අනෙක් අතට රටේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම මට්ටු කිරීම සඳහා ද දැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂයෙන් පාසල් දරුවන් ඉලක්ක කර සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම හා සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගෙන සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම වහා මැඩලිය යුතු බවද පෙන්වා දුන්නේය.

අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් සමඟ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *