ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1929 ට දැනුම් දෙන්න

(කොළඹ, ලංකාපුවත්) – ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1929 ට දැනුම් දෙන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ එච්.එම් අබයරත්න මහතා ඉල්ලීමක් කරනු ලැබේ.

අදට(12) යෙදෙන ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ඔහු මෙම ඉල්ලීම සිදු කරයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය,

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය 2018.06.12 දිනට යෙදී තිබේ .මෙවර එහි තේමාව වන්නේ “දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය යහපැවැත්ම පිළිබඳවයි.

ලොව සෑම රටකම අනාගතය තීරණය කිරීමෙහිලා ප්‍රමුඛතම කාරණයක් ලෙස එරට ළමා පරපුර හැඳින්විය හැක. මේ නිසා නිසි වයස තුළදි අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ඔවුනගේ සෞඛ්‍ය නගා සිටුවීම ප්‍රමුඛතම කාර්යයක් බවට පත් වේ. එමෙන්ම අනිවාර්ය අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය මගින් දරුවන්ට සමාජය තුළ වඩාත් යහපත් අයුරින් කටයුතු කිරීමේ අවකාශය උදා වන අතර, එම කාලය තුළදි දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතය මගින් ඔවුනගේ කායික මෙන්ම මානසික යහපැවැත්මටද සිදු වන හානිය සුළුපටු නොවේ.

දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කිරීමට ආසන්නතම හේතු ලෙස ආර්ථිකය, අධ්‍යපානය, සංස්කෘතික වටපිටාව, ජනතාවගේ වගකීම හා වගවීම පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම යනාදි කරුණූ රැසක් බලපානු ලබයි. මෙම කරුණු පිළිබඳව දැඩි ලෙස අවධානය ලබා දෙන ලොව සදාචාරාත්මක හා ශිෂ්ටසම්පන්නතම සමාජයන් තුළ දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කිරීම සිදු වන්නේ ඉතාමත්ම කළාතුරකිනි. ශ්‍රි ලංකාව තුළද වර්තමානය වන විට ළමා ශ්‍රමිකත්වයේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබීම ඉතා සතුටට කරුණකි.

දරුවන් පිළිබඳව වගවීම සමස්ත සමාජයේම යුතුමක් වන අතර, දැයේ දරුවන් ළමා ශ්‍රමිකත්වය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කර දීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතු බව මාගේ විශ්වාසයයි. ඕනෑම අවස්ථාවක පුද්ගලයෙකු විසින් ළමයෙකු ශ්‍රමිකයෙකු ලෙස භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම් දෙන ලෙස අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු..

නීතීඥ එච්.එම් අබයරත්න
සභාපති
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *