දරු පරපුර රැක ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් කොන්දේසි විරහිතව එක්විය යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කරන අතර, ඒ උදෙසා සියලු පාර්ශ්වයන් කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන එම වැඩපිළිවෙළහි ප‍්‍රමුඛ පියවරක් වන අතර දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම ඔවුන්ට යහපත් අනාගතයක් උදාකරලීම එහි අරමුණ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (18) පෙරවරුවේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.

ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබේ.

සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන අපයෝජනය අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ මෙම වැඩසටහන දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇත.

ඉතිහාසයේ ප‍්‍රථම වරට අමාත්‍යාංශ 14 ක්, දෙපාර්තමේන්තු 05 ක්, ආයතන 06 ක්, පළාත් සභා 09 ක් සහ සිවිල් සහ ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධ කරගනිමින් විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර 2017 සිට 2019 දක්වා තෙවසරක සැලැස්ම සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 5232.6 කි.

ස්වේච්ඡා ළමා නිවාසවල ප‍්‍රමිතින් පාලනය කිරීම, අධීක්ෂණය හා පරිපාලනය පිළිබඳව ප‍්‍රඥප්තීන් හඳුන්වාදීම, ළමා රැඳවුම් මධ්‍යස්ථාන යන නාමය ආරක්ෂිත නිවහන ලෙස වෙනස් කිරීම, නිවාසගත දරුවන් දේශීය විදේශීය වශයෙන් හදා වඩා ගැනීමට අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදන කි‍්‍රයාත්මක කිරීම, ලැගුම්හල් හා ඖෂධහල් ලියාපදිංචිය හා නියාමනය කාර්යක්ෂම කිරීම “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන යටතේ කි‍්‍රයාවට නැංවීමට නියමිතය. විවිධ නෛතික කාරණා හේතුවෙන් රැඳවුම් භාරයේ සිටින ළමුන් නැවත පාසල්ගත කිරීම සම්බන්ධව මෙතෙක් නිකුත් කර ඇති චක‍්‍රලේඛ බල ගැන්වීම මෙම වැඩසටහනේ ඉතාම සුවිශේෂී අරමුණකි.

“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන යටතේ කිලිනොච්චි දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම ද අද දින සිදු කෙරිණි.

කිලිනොච්චිය දිස්ති‍්‍රක්කය තුළ මව අහිමි දරුවන් 387 ක් සහ පියා අහිමි දරුවන් 378 ක් ජීවත් වන බවට තොරතුරු වාර්තා වෙයි.

අධිකරණමය කටයුතුවලට සම්බන්ධ වූ අඩු වයස් හා ළමා මව්වරුන් මෙන්ම අවතැන් දරුවන් ළමා නිවාසවල විවිධ අඩුපාඩු මධ්‍යයේ ජීවත් වෙති.

ඒ අනුව දිස්ති‍්‍රක්කයේ තෝරාගත් ළමා නිවාස හා රැඳවුම් නිවාස නවීකරණය හා ප‍්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ප‍්‍රතිපාදන ලබාදීම, ආබාධ සහිත දරුවන් අධ්‍යාපනය ලබන උතුරු පළාතේ පාසල් 25 ක, ප‍්‍රවේශ මාර්ග හා අනෙකුත් පහසුකම් සංවර්ධනයට අදාළ මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම, වකුගඩු රෝග අවදානමෙන් දරුවන් මුදා ගැනීම සඳහා පිරිසිදු පානීය ජල පසුකම් නොමැති පවුල් 1,000කට ගෘහස්ථ ජල පෙරණ ලබාදීම, පූර්ව ළමා විය සංවර්ධනය සඳහා තෝරාගත් පෙර පාසල්වලට පොත් කට්ටල, ලීබඩු සහ කී‍්‍රඩා උපකරණ ලබාදීම, අනාරක්ෂිතව දිවි ගෙවන දරුවන් සහිත පවුල් සඳහා මූල්‍ය ආධාර සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක කෙරිණි.

මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දරුවන් වෙනුවෙන් මෙතෙක් කි‍්‍රයාත්මක වූ වැඩසටහන් අතරින් “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන සුවිශේෂී වන්නේ එය දිවයිනම ආවරණය කරමින් ඉතා සකී‍්‍රය සහ ප‍්‍රායෝගික අන්දමින් සියලු පාර්ශ්වයන් එක් කර ගනිිමින් කි‍්‍රයාත්මක ව්‍යාපෘතියක් වීම නිසා බවයි.

මනෝ උපදේශනය, නීති උපදේශනය හා පැමිණිලි භාරගැනීම සඳහා ජංගම සේවාවක් ද අද මෙම උත්සව භූමිය තුළදී කි‍්‍රයාත්මක කෙරිණි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාෆා, යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයින් රැසක් සහ දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට සමගාමීව කිලිනොච්චි කනගපුරම් විද්‍යාලය වෙනුවෙන් ඉදිකළ නව කී‍්‍රඩාංගණය අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

2017 ඔක්තෝබර් 14 වනදා කිලිනොච්චි විශේෂ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා සහභාගී වූ අවස්ථාවේදී එම විද්‍යාලයේ දරුවන් ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම පරිදි මෙම ක්‍රීඩාංගණය ඉදිකෙරුණු අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 05කි.

අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය.

ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

එමෙන්ම යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්කවල යුද හමුදාව විසින් මෙතෙක් භාවිතා කළ ඉඩම් අක්කර 120.89 ක් නැවත එම ජනතාව වෙත නිදහස් කිරීම ද “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුවේදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ඊට අදාළ ලියකියවිලි ජනාධිපතිතුමා අතින් අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත භාරදුන් අතර ඒ අනුව යාපනය දිස්ති‍්‍රක්කයේ ඉඩම් අක්කර 62.95 ක්, කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ අක්කර 05.94 ක්, මුලතිව් දිස්ති‍්‍රක්කයේ ඉඩම් අක්කර 52 ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාවට හානියක් නොවන අයුරින් උතුරු හා නැගෙනහිර පළාත්වල යුද හමුදා කඳවුරු ස්ථාපිත පුද්ගලික ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කිරීම සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *