ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකේය ගීතය රසවත් කළ ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වේ.

සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 86හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා ප්‍රවීණ ගායක හා සංගීතඥයෙක් වන සුනිල් ශාන්තයන්ගේ මග යමීන් සහෘද සිත් සතන් පිනවු ගායකයෙක් විය.

1932 මැයි 28වනදා සීදූව ප්‍රදේශයේදී පැස්‌කුවල් දොන් ඔගස්‌ටින් අයිවෝ නමින් ජන්මලාභය ලැබූ ඔහු 1952 වසරේදී ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පැවැත්වූ ‘ආධුනික පැය’ වැඩසටහනේදී ප්‍රථම වරට ගීතයක්‌ ගායනා කරනු ලැබීය. ඒ ‘වරෙන් හීන් සැරේ’ ගීතයයි.

වෘත්තියෙන් ගුරුවරයකු වූ අයිවෝ රත්නපුරය, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්හි ඉගැන්වීම් කටයුතුවල ද නිරත විය. පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා මෙන්ම එකල පැවැත්වූ ‘හෙළ මිහිර’ ගායන වෘන්දයේ මූලිකයා බවට ද පත් විය.

වීරසේන ගුණතිලක, ලයනල් රන්වල, රෝහණ බැද්දගේ වැන්නවුන් හෙළ මිහිරේ අයිවෝගේ සමකාලීනයෝ වූහ. ඔහුගේ කටහඬ එකල සුභාවිත ගීත ක්‍ෂේත්‍රය දිග්විජය කළ සුනිල් ශාන්තයන්ගේ හඬට බොහෝසේ සමානකම් දැක්‌වීය. ඒ හේතුවෙන් සුනිල් ශාන්තයන්ගේ ගීත ගායනා කිරීමේ වැඩි අවකාශයක්‌ අයිවෝට උදාවිණි. ලද අවස්‌ථාවෙන් විපුල පල නෙළාගත් අයිවෝ ගායනයේදී ගීතවලට උපරිම සාධාරණයක්‌ ඉටුකිරීමට සෑම විටම සමත්කම් දැක්‌වීය. සුනිල් ශාන්තයන්ගේ හමුව අයිවෝ ඩෙනිස්‌ගේ ගායන දිවියේ අතිශය වැදගත් අවස්‌ථාවක්‌ විය.

තොරතුරු අසා දැනගත් සුනිල් ශාන්තයෝ අයිවෝ ඩෙනිස්‌ නම් ආධුනිකයා තම සංගීත තක්‌සලාවට ඇතුළත් කර ගත්තේය. ඒ අනුව ඔහු සුනිල් ශාන්තයන් යටතේ සංගීතය හදාරන්නට පටන් ගත්තේය. එය තම සංගීත දිවියේ ලැබූ ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ ලෙස අයිවෝ ඩෙනිස් කවදත් සැලකූහ. 1975 දී සුනිල් ශාන්තයන්ගේ ‘රන්වලාව’ සංගීත වැඩසටහනට එක්‌වීමට අයිවෝට අවස්‌ථාව උදාවිය. එහිදී තිලක සුධර්මන් ද සිල්වා ලියූ සුනිල් ශාන්තයන් සංගීතවත් කළ ‘කුරුලු පරාදීසයේ’ ගීය ගයමින් අයිවෝ ඩෙනිස්‌ සිය සංගීත චාරිකාව ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *