සෞදියේ සේවය කළ ගෘහ සේවිකාවට රුපියල් ලක්ෂ විසි හයක හිග වැටුප්

(කොළඹ, ලංකාපුවත්) – ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ සේවය කරමින් සිටි කාන්තාවකට ලැබිය යුතුව තිබූ හිග වැටුප් ලෙස රුපියල් ලක්ෂ විසිහයක මුදලක් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ලබාදෙන ලදී.

මෙසේ රුපියල් ලක්ෂ විසි හයක හිග වැටුපක් ලබාදුන්නේ කිට්නසාමි ලලිතා රංජනී නැමැති රත්නපුරයේ පදිංචි කාන්තාවකටය.

මෙම කාන්තාව ගෘහ සේවිකාවක් ලෙස විදේශගවී ඇත්තේ 2009 වසරේදීය. වසර අටක කාලයක් ඇය සෞදි අරාබියේ සේවය කරමින් සිටියත් ඇය සේවය කරමින් සිටි නිවසේ හිමිකරුවන් ඇයට වැටුප් ලබාදී නැත. ලංකාවේ සිටින සිය පවුලේ සාමාජිකයින් සමග දුරකතනයෙන් සම්බන්ධවීමටවත් ඇයට අවස්ථාවක් ලැබී තිබුණේ නැත.

ඇය සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට ඇගේ පවුලේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබුණේය. ඒ අනුව සෞදි තානාපති කාර්යාලය හරහා මෙම කාන්තාව සොයා ගැනීමට විශාල වෙහෙසක් දරා තිබුණි.

පසුව නිවසේ හිමිකරුවන් විසින් මෙම කාන්තාව සෞදි තනාපතිකාර්යාලයට ගෙනවිත් භාරදී තිබේ. ඒ 2017 වසරේ ජුනි මාසයේදීය. ඇය තානාපති කාර්යාලය වෙත ගෙනවිත් භාර දෙන විට වසර අටක කාලයක් නිවසේ සේවය කරමින් සිට තිබේ. විවිධ අවස්ථාවලදී මුදල් ලබාදී තිබුණත් නිසි ආකාරයෙන් වැටුප් ලබාදී තිබුණේ නැත.

මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන් මැදිහත්වී අධිකරණයේ නඩු පවරා තිබුණේ නියමිත පරිදි හිග වැටුප් ලබාගැනීමටය. එම නඩුව අවසානයේදී හිග වැටුප් ලබාගත්තේය. එම හිග වැටුප් මුදලින් සෞදි රියාල් 64,000ක මුදලක් නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් එම කාන්තාවට ලබාදුන්නේය.

තමන්ට මුහුණදීමට සිදුවූ අත්දැකීම සම්බන්ධයෙන් කිට්නසාමි ලලිතා රංජනී මෙසේ පැවසුවාය.

“මම සෞදි අරාබියේ රැකියාවට ගියේ 2009 අවුරුද්දේදී. මම අවුරුදු අටක් ඒ ගෙදර රස්සාව කළා. මට මාසේ පඩිය දුන්නේ නෑ. මම පඩි ඉල්ලුවා. ඒත් පඩි දුන්නේ නෑ. මට ගෙදරට කතා කරන්නවත් විදියක් තිබුණේ නෑ. මගේ ටෙලිෆෝන් නම්බර් සේරම ඒ අය හංගලා තිබුණේ.

මම මේ විදියට ගෙදර වැඩ කරන්න බෑ කියලා කිව්වා. හැමදාම බෑ කියනකොට පස්සේ ගෙදර අය මාව එම්බසි එකට ගෙනැත් දැම්මා. එම්බසි එකේදී මම මේ ගැන කිව්වා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය, එම්බසිඑක එකතුවෙලා නඩු දාලා මට පඩිය අරගෙන දුන්නා. අසරණ වෙලා හිටපු මට උදව් කරපු එක ගැන එම්බසියට, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ස්තුතිවන්ත වෙන්න ඕන.“

විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීම මත විදේශ රැකියාවල නිරතව සිටියදී නියමාකාරයෙන් වැටුප් නොලබන ශ්‍රමිකයින් සදහා අවශ්‍ය සහන ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ අවධානය යොමු කර තිබේ.

මෙම මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කිෂෝලි පෙරේරා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී.ඩබ්ලිව්.එම්.පී.කේ.ටී. හෙට්ටිආරච්චි මහතා එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *