ආණමඩුව කාර්මික විද්‍යාලයේ සිහිනය සැබෑ වෙයි – ලක්‍ෂ 3882 ක වියදමින් ඉදිකිරීම් ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත ආණමඩුව කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් මේ වන විට සිදු වෙමින් පවතී. මෙම විද්‍යාලය වෙනෙුවන් රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 3882 කි.

නව ලොවට ගැලපෙන පාඨමාලා හැදෑරීමට තරුණ තරුණියන් වෙත අවස්ථාව උදා කිරීම මෙහි අරමුණයි. පොතේ දැනුමට පමණක් සීමා නොවන, ප‍්‍රායෝගික කුසලතාවන් වර්ධනය කර ගත හැකි පරිදි පාඨමාලා සකස් කිරීමට මෙම ව්‍යාපෘතිය යටතේ පියවර ගන්නා බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ආණමඩුව නගරයට නුදුරින් ඉදි කෙරෙන මෙම කාර්මික විද්‍යාල භූමිය අක්කර ගණනාවකින් සමන්විත වන අතර, ලෝකයේ වැඩි ඉල්ලූමක් සහිත ක්‍ෂේත‍්‍ර මත පදනම් වෙමින් පාඨමාලා සකස් කිරීමටද නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය. ඔහු මේ බව කියා සිටියේ ඉදිකිරීම් භූමියේ නිරීක්‍ෂණ චාරිකාවකට අද(25) එක්වෙමිනි.

සිසු සිසුවියන් 700 ට පමණ එකවර පාඨමාලා හැදෑරීමේ පහසුකම්වලින් සමන්විත වන පරිදි ඉදිකිරීම් සිදු වේ. එමෙන්ම කී‍්‍රඩාංගනය, පිහිනුම් තටාක, පුස්තකාලය, විද්‍යාගාර, නේවාසිකාගාර ඇතුළු පහසුක රැසක් මීට ඇතුලත්ය. සියළු ඉදිකිරීම් මේ වසර තුළ නිම කිරීම රජයේ අපේක්‍ෂාව බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ තමන් මෙම යෝජනාව ඉදිරිපත් කළද ඒ සඳහා එවකට සිටි කැබිනට් අමාත්‍යවරයාගෙන් කිසිදු සහයෝගයක් හිමි නොවූ බවත් මෙම සම්පත් ආණමඩුවට උරුම කර දීමට වසර තුනක කාලයක් බලා සිටීමට සිදු වූ බවත් ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *