ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය 39%කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය 2017 වසරේදී සියයට 39කින් ඉහළ ගොස් ඇති අතර එය ඉකුත් වසර වලට වඩා සියයට 31ක වැඩිවීමක් බවත් සංස්ථාවේ නිෂ්පාදන අළෙවිය රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා “පුනරුදය – දින 60 මෙහෙයුම” වැඩසටහන යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට යන බවත් සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ යටතේ රස බෙහෙත් නිෂ්පාදනාගාරයක් ඇරඹීම, පිරිසිදු පොල් තෙල් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම, ඖෂධ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක් පාසල් මගින් ක්‍රියාත්මක කිරීම සහ නව ආයුර්වේද නිෂ්පාදන වර්ග 6ක් වෙළද පොළට හඳුන්වා දීම සිදු කෙරෙන බවද බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ(25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රට පුරා සිටින ආයුර්වේද වෛද්‍යවරුන් ඒකරාශී කොට සම්මන්ත්‍රණ හා සාකච්ඡා පවත්වා සංස්ථාවේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීමටත් එමගින් සංස්ථා ඖෂධ ජනතාව අතර ප්‍රචලිත කිරීමටත් සංස්ථාව පියවරගෙන ඇති බවද රාජිත සේනාරත්න මහතා තවදුරටත් පැවසීය.

පුනරුදය වැඩසටහන යටතේ යුද හමුදාවේ සහාය ඇතිව දිවයින පුරා පිහිටි හමුදා කඳවුරු 800ක ඖෂධ පැළ ලක්ෂයක් වගා කිරීමේ වැඩසටහනක්ද ජූලි 16 දා සිට ක්‍රියාත්මක කෙරේ. එයට අමතරව පාසල් සිසුන් මගින්ද ඖෂධ පැළ සිටුවීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කෙරෙන අතර එය කොළඹ ආනන්ද විදුහල කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා කීය.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා සංස්ථාවේ නිෂ්පාදයන්ට අත්‍යවශ්‍ය සියලුම් වියළි ඖෂධ වර්ග වගාකරුවන්ගෙන් මිලදී ගැනීම සඳහා අනුරාධපුරයේ මිලදී ගැනීමේ මධයස්ථානයක් විවෘත් කොට ඇති අතර ළඟදීම මොණරාගල ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කීය.

ඖෂධ නිෂ්පාදයට අවශ්‍ය පොල් තෙල් විව්‍යත වෙළඳ පෙළෙන් මිලදී ගැනීම සඳහා සංස්ථාවට වසරකට රුපියල් මිලියන 20ක පමණ මුදලක් වැය කිරීමට සිදු වි තිබේ.

එබැවින් සංස්ථාව විසින්ම පොල් තෙල් නිපදවීම සදහා නව නිෂ්පාදනාගාරයක් ඉදි කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි මාස 6 ඇතුළත එහි වැඩ නිම කොට පොල් තෙල් නිෂ්පාදනය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මෙයින් නිපදවන උසස් තත්වයේ පිරිසිදු පොල් තෙල් විවෘත වෙළදපොලේ අළෙවි කිරීමට බලාපොරොත්තු වන බවද සභාපති සමරසිංහ මහතා පැවසීය.

ආයුර්වේද සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා ඇතුළු නිලධාරින් පිරිසක්ද මෙම මාධ්‍ය හමුවට එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *