පොළොන්නරුව මහා බත් දන්සැල 58 වන වරටත්

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 58 වන වරටත් ඊයේ සහ අද දෙදින පුරා පොළොන්නරුව පැරකුම් සමුදුර අභියසදී පැවැත්වෙන අතර ඊයේ (27) දින බත් දන්සැල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සමරමින් ඓතිහාසික සිද්ධස්ථාන වැද පුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් උදෙසා පොළොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි වාර්ෂිකව මෙම බත් දන්සැල සංවිධානය කෙරේ.

මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දන්සැල ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා අමරපුර නිකායේ උඩරට අමරපුර පාර්ශ්වයේ අනුනායක ජපානයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර නායක හිමිපාණන් වහන්සේ විසින් පුණ්‍යානුමෝදනාව සහ විශේෂ අනුශාසනාව සිදු කළහ.
ඇලහැර, බකමුණ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ලියන්ගස්වගුරේ දේවානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියහ.

දිවයිනේ නන් දෙසින් පොළොන්නරුව පූජා භූමිය වෙත පැමිණ සිටි විශාල ජනතාවක් දන්සල වෙත පැමිණ සිටී අතර ඔවුන්ට ආහාරවලින් සංග්‍රහ කිරීමට ද ජනාධිපතිතුමා එක් විය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාලක කොලොන්නේ, සිිරිපාල ගම්ලත්, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, පොළොන්නරුව දිස්ති්‍රක් ලේකම් රංජිත් ආරියරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *