හිටපු ජනපති මහින්ද ගැන “නිව්යෝර්ක් ටයිම්ස්” වෙතින් හෙළිදරව්වක්

(කොළඹ, ලංකාපුවත්) –2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ වියදම් වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන සාමාගමක් අමෙරිකානු ඩොලර් මිලියන හතයි දශම හයක මුදලක් ලබාදී ඇති බව” නිව්යෝක් ටයිම්ස් “පුවත් පත වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, චීනයේ හා බටහිර නිලධාරීන් සමග මාස ගණනාවක් පුරා පැවති සම්මුඛ සාකච්ඡා තුළින් හා වරාය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් හා ලිපි ලේඛන අධ්‍යනය කිරීමෙන් පසුව සම්පාදනය කළ මෙම ගවේෂණාත්මක පුවත්පත් වාර්තාව සකස් කර තිබේ.

කුඩා රටවල්වල චීනය හා චීන රජයේ සමාගම් තමන්ගේ බලය තහවුරු කළ ආකාරය මේ ගවේෂණය තුළින් හෙළි වූ බව නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ණය සහනාධාර ලබාදී හම්බන්තොට වරාය වැනි සම්පත් හමුදාමය කටයුතු සඳහා භාවිතා විය හැකි බවට ඉන්දීය නිලධාරීන් සැක පළ කර ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පළමු ණය කොටස වූ ඩොලර් මිලියන 307 ක ණය මුදලක් ලබාගෙන ඇත්තේ චීන රජයේ එක්සිම් බැංකුව මගිනි.

නමුත් එම ණය ලබාගැනීම සඳහා චීන රජයෙන් යෝජනා වූ චයිනා හාබර් සමාගමට වරාය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාරදිය යුතු බවට චීන රජයෙන් කොන්දේසියක් පනවා ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

ලොවපුරා චීන ණය ආධාර තුළින් ක්‍රියාත්මකවන ව්‍යාපෘති සඳහා මෙවැනි කොන්දේසි පැනවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, චීනය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සමීප සම්බන්ධතාවක් පැවති අතර 2015 ජනාධිපතිවරණය ළංවීමත් සමගම හිටපු ජනාධිපතිගේ සමීපතම හිතවතුන් වෙත විශාල මුදල් ප්‍රමාණ ලැබී ඇති බවයි.

ස්ටැන්ඩඩ් චාටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුම තුළින් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට ඔහුගේ හිතවතුන්ට ගෙවා ඇත.

මැතිවරණ දිනයට දින 10 කට පෙර චෙක්පත් තුළින් ඩොලර් මිලියන 3. 7 ක මුදලක් ගෙවා ඇති අතර ඉන් ප්‍රචාරක තොරතුරු ඇතුළත් බැනියම් මිලදී ගැනීම සඳහා ඩොලර් හයලක්ෂ හැත්තෑ අටදහසක්ද සාරි සහ වෙනත් ත්‍යාග සඳහා තව ත් ඩොලර් දෙලක්ෂ අනුහත්දහසක් ද ගෙවා තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක් වූ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තව ත් ඩොලර් 38000 ක ගෙවීමක් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඩොලර් මිලියන 1. 7 ක් වටිනා චෙක්පත් දෙකක් අරලියගහ මන්දිරයට යවා ඇති බව ද එම වාර්තාවේ දැක්වෙනු ඇත.

මෙම ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ චනියා හාබර් සමාගමට අයත් උපගිණුමක් වන එච්.පී.ඩී.පී ෆේස් ටු යන කෙටි නමින් හැඳින් වූ හම්බන්තොට වරාය ව්‍යෘපෘතිය අයත් ගිණුමකිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *