මාතර කොල්ලයේ සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – මාතර නගරයේ දී ඉකුත් 22වනදා උදෑසන රන් අභාරණ වෙළෙදසැලක් කොල්ල කෑමේ සිද්ධිය සඳහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය මෝරගහහේන, තලගල ප්‍රදේශයේදී අද(02) අලුයම සොයාගැනීමට සමත් වී ඇත.

කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් සහ එය පැදවූ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ රථයේ ලියාපදිංචි අයිතිකාරිය කාන්තාවක් වන අතර අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා මෙම අයිතිකාරියගේ ස්වාමිපුරුෂයා වේ. ඔහු වයස අවුරුදු 43ක් වූ මීගොඩ පදිංචි අයෙකි.

මාතර සිද්ධියට පැමිණි සැකකරුවන් වන කොස්ගොඩ තාරක, මියගිය චාමර, කොස්ගොඩ දිල්හාන් යන අයවළුන් මඩපාතගේ කපිල කුමාර යන අයට හිමි තලගල භාවනා මධ්‍යස්ථාන පාර, මොරගහහේන ලිපිනයේ නිවස කුලියට ගෙන මාස 04ක පමණ කාලයක් එම නිවසේ නතර වී සිටි බවට ද අනාවරණය වී ඇත.

කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් දින ගණනාවක් මෙම නිවස අවට අවේක්‍ෂණ රාජකාරී යොදවා සිට අද අළුයම මෙම මෝටර් රථය නිවසට පැමිණෙණ අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නිවසේ රැදී සිටි සැකකරුවන් පරිහරණය කරන ලද ඇඳුම් හා ඡායාරූප කිහිපයක් ද සොයා ගෙන ඇත.

කොල්ලකෑමට පැමිණ තුවාල වූ සැකකරුවන් මෙම මෝටර්රථයෙන් කරාපිටිය රෝහල අසල දමා ගොස් ඇති බවට ද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *