ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය මාස 06 ක කාලයක් ඇතුලත පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉල්ලීමක් කර ඇත.

එම කාලය ඇතුලත නිලවරණය පැවැත්වීමට කටයුතු නොකලහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ පුර්ණ සාමාජිකත්වය සම්බන්ධයෙන් සලකා බැලීමට සිදුවන බවට ද ක්‍රිකට් කවුන්සිලය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල පාලක මණ්ඩලයේ 75 වන වාර්ෂික සමුළුව ඊයේ අයර්ලන්තයේ ඩබ්ලින් හිදී ආරම්භ වු අතර එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන් වේ.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර ඇති බැවින් නිලවරණයකින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිතයෙකු සහභාගී කරවීමේ හැකියාව පවතින බවට ක්‍රිකට් කවුන්සිලය දැනුම් දි තිබේ.

මේ අතර පන්දුව පළුදු කිරීමේ සිද්ධින්වලට අදාළව ලබාදෙන දඩුවම් දැඩි කිරීම සම්බන්ධයෙන් ද ඊයේ පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *