රංගන හේරත් නොවැම්බරයේදී ජාත්‍යන්තර ක්‍රිකට්වලට සමුදීමට සූදානම් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයට එරෙහිව ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තමන් සමු ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් පවසයි.

ලෝකයේ වැඩිම කඩුලු ලබාගත් වමත් පන්දු යවන්නාවන වයස අවුරුදු 40ක් වන රංගන හේරත් ශ්‍රී ලංකා පිළ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයාය.

“සමහර විට මගේ අවසාන තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්. ඒකටත් දකුණු අප්‍රිකානු සංචාරයෙන් පස්සේ මාස 3ක කාලයක් තියෙනවා. එහෙම තමයි මම මේ වෙනකොට සැළසුම් කර තිබෙන්නේ.” යැයි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් රංගන හේරත් සදහන් කර ඇත.

මේ වන විට ටෙස්ට් තරග 90ක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති රංගන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුළු 418ක් බිඳ දමා තිබේ.

ලබන බ්‍රහස්පතින්දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආරම්භවන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් පසු කණ්ඩායමේ නායකයා හා කළමනාකාරිත්වය සමග සාකච්ඡා කර මේ ගැන අවසාන තීරණයක් ගන්නා බව ද ඔහු බීබීසී සිංහල සේවයට පවසා තිබේ.

රංගන හේරත් එළඹෙන එංගලන්ත සංචාරයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුනහොත් ඔහු එසේ සමුදෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කලක් ටෙස්ට් පිටිය නියෝජනය කළ ක්‍රීඩකයා ලෙසය.

1999 ටෙස්ට් වරම් ලැබූ රංගන හේරත් මේවන විට වසර 18කට වඩා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර පසුගිය ජුනි මාසයේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවති තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාව වැඩිම කලක් නියෝජනය කළ ටෙස්ට් ක්‍රීඩකයා බවට ද පත්විණි. ඒ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග වසර 18යි දින 175ක් ශ්‍රී ලංකාව නියෝජනය කළ වාර්තාව බිඳ දමමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *