ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ඉදි කළ කන්නන්ගර පිළිරුව විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කර තිඛෙන ජාතික වීරයන්ගේ පිළිරුව අතරට එක්වූ මධ්‍ය විද්‍යාල සංකල්පයේ සහ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ පිළිරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (10) පෙරවරුවේ විවෘත කෙරිණි.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ට ලබාදිය හැකි ඉහළම ගෞරව පුදකරමින් ජනාධිපති කාර්යාලයේ සහ සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් මෙම පිළිරුව ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර පිළිරුව විවෘත කළ ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වී ය.

අනතුරුව පැවති උත්සව සභාවේදී සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධර්මසේන කහදව මහතා පිළිගැනීමේ කතාව සිදු කළ අතර, අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද උත්සව සභාව ඇමතීය. සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් හිටපු අමාත්‍යාංශ ලේකම් නීතිඥ ඒ.පී.ඒ. ගුණසේකර මහතා අදහස් දැක්වීය.

සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ද, විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ පවුලේ සාමාජිකයින් ඇතුථ ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *