බෙල්ජියම පරදා ප්‍රංශය අවසන් තරඟයට

(කොළඹ, ලංකාපුවත්) –ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ(10) පැවැති පළමු අවසන් පූර්ව තරඟයේදී බෙල්ජියම් කණ්ඩායම ගෝල 1-0කින් පරාජය කළ ප්‍රංශය අවසන් මහා තරඟයේ තම ස්ථානය වෙන් කර ගත්හ.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරඟයේ පළමු භාගය නිමවනවිට දෙපිලම ගෝල රැස් කර නොතිබූ අතර දෙවන භාගය ආරම්භ වී 51 වැනි මිනිත්තුවේදී ප්‍රංශයේ සැමුවෙල් උම්ටිටි විසින් මුලු පහරකට හිසෙන් පන්දුවට එල්ල කල ප්‍රහාරය බෙල්ජියම් දැල රකින්නාට සිතා ගැනීමටවත් ඉඩ නොදී විදුලි වේගයෙන් දැල තුලට පතිත විය.

අවසන් ලෝක කුසලාන තරගාවලි හයේ දී ප්‍රංශය, අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලැබුවේ තුන්වැනි වරට ය. මීට පෙර 1998 දී ප්‍රංශය ලෝක කුසලානය දිනාගෙන තිබේ. තරග ජයග්‍රහණයෙන් පසුව ප්‍රංශ ජනතාව ජය සමරනු දක්නට ලැබීය.

අද (11) එංගලන්තය හා ක්‍රොඒෂියාව අතර දෙවන අවසන් පූර්ව තරඟය පැවැත්වෙන අතර ඉන් ජයගන්නා කණ්ඩායම ජූලි 15 වැනිදා ප්‍රංශය හා අවසන් මහා තරඟයට මුහුණ දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *