විදේශ සේවා නියුක්තියට අදාළ නීතිය පිළිබදව පොලීසියේ දැනුම ඉහළ නැංවිය යුතුයි – නි. සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

(කොළඹ, ලංකාපුවත්) –විදේශ සේවා නියුක්තියට බලපාන අපරාධ නීතිය, මානව හිමිකම් නීතිය ආදි සියළු නීති ක්ෂේත්‍රයන් පිළිබදව තම නෛතික දැනුම පුළුල් කර ගැනීම විමර්ශන කාර්යයෙහි යෙදෙන නිළධාරීන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක් බවත්, ඒ සදහා අදාළ පාර්ශවයන්ගේ මැදිහත්වීම කාලීන අවශ්‍යතාවයක්ද වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා පැවසීය.

ඒ මහතා මේ අදහස් පළකළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා පොලිස් නිළධාරීන්ගේ කාර්යභාරය යන මාතෘකාව යටතේ පසුගියදා බත්තරමුල්ල එම කාර්යාංශ ප්‍රධාන කාර්යාලයේදී එහි නීති අංශය හා විශේෂ විමර්ශන අංශය මගින් සංවිධානය කළ “එතෙර ශ්‍රමයට නීතියෙන් අත්වැලක්” රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත සම්පත් දායක දේශනය පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙසේද පැවසීය.

“අපේ රටෙන් වසරක් පාසා විදේශ ගතවන විදේශ ශ්‍රමිකයින් ප්‍රමාණය සහ දැනට විදේශ ගතවී සිටින ශ්‍රමික පිරිස අතිවිශාලයි. ඒ වගේම විදේශ රැකියාවක් සොයාගැනීමට ගොස් විවිධ වංචනික පුද්ගලයින්ට, ජාවාරම්කරුවන්ට හසුවී තම දාඩිය මහන්සියෙන් උපයාගත් මුදල්, දේපල පමණක් නොව තම ජීවිතය පවා අහිමි කරගත් අවස්ථා මෑත ඉතිහාසයේම අප අසා දැක තිබෙනවා. සෞදි අරාබි රාජ්‍යයේදී ජීවිතය අහිමි වූ රිසානා නෆීක් බාලවයස්කාර දැරිය ඊට හොදම සාක්ෂියක්.”

“ඒ නිසා මිනිස් ජාවාරම හා මිනිස් වෙළදාම යන අපරාධමය කාරණා විදේශ සේවා නියුක්තිය හා බැදී පවතින බව පැහැදිලියි. මෙම සාපරාධි කටයුතුවලට සම්බන්ධ රට පුරා සිටින වංචාකරුවන්, තැරැව්කරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් කිරීමේ වගකීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් භාරකර පසෙකට වී සිටීමට නොහැකියි

විමර්ශන නිළධාරීන් ලෙස දිවයින පුරා විසිරී සිටින පොලිස් නිළධාරීන් විදේශ සේවා නියුක්තියට අදාළ නීතිය පිළිබදව මනා ලෙස දැනුවත්වීමේ අවශ්‍යතාව දැඩි වන්නේ එවැනි පසුබිමකයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශය හා විශේෂ විමර්ශන අංශය එක්ව දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම සම්බන්ධව තම ස්තූතිය පළ කරනවා.

අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අසංග කරවිට මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය

අපරාධ විමර්ශන ක්‍රියාදාමයේදී මෙන්ම අපරාධ මර්ධනය කිරීමේදී පොලිස් දෙපාර්තමේන්තුව ලෙස අපට රට වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් පැවරී තිබෙනවා.

එම කාර්යය ඉටුකිරීමේදී විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ නීතිමය කරුණු පිළිබදව දැනුම හා අවබෝධයෙන් පරිපූර්ණවීම අපරාධකරුවන්ට දඩුවම් දීමටත්, වින්දිතයින්ට නීතිය ඉදිරියේ සාධාරණය ඉටුකිරීමටත් අත්‍යාවශ්‍ය කරුණක්.

විශේෂයෙන් විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ අපරාධවල වර්ධනයක් අද දවසේ දකින්නට තිබෙනවා.

ඒ වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අවශ්‍ය නීතිමය දැනුමෙන් ශක්තිමත් කිරීමට මෙවැනි වැඩමුළුවක් පැවැත්වීම සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරිත්වය හා නීති අංශයේ නිළධාරීන් ගත් පියවර ඉතාම කාලෝචිත වෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ජ්‍යෙෂ්ඨ නීතිඥ චේකා ප්‍රේමසිරි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති මුතුකුමාරණ, කළමනාකරු (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙළුම් සමරසේකර, කළමනාකරු (විශේෂ විමර්ශන) චමින්ද වෙළගෙදර යන මහත්ම මහත්මීන් මෙම වැඩමුළුවේ අදහස් දැක්වූ අතර, කොළඹ කළුතර ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පොලිස් නිළධාරීන් 250ට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *