එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ව්‍යාපෘති ලක්ෂයක් – මුදල් අමාත්‍ය

(කොළඹ, ලංකාපුවත්) – 2018 වසරේ දී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ නව ව්‍යාපෘති ලක්ෂයක් පමණ ආරම්භ කිරීමට හැකිවෙතැයි රජය බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද(18) මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන යටතේ ණය ලබාදීම වෙනුවෙන් වු ණය කවුළුව විවෘත කිරීම හා මෙම වැඩසටහන යටතේ ව්‍යාපෘති ආරම්භ කිරීමට යෝජිත පිරිස් වෙත ණය මුදල් ලබාදීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

මෙලෙස ණය කවුළුවක් විවෘත කිරීම මහජන බැංකුව ගණුදෙනුකරුවන්ගේ ආර්ථිකයේ කොටස්කරුවන් වීමේ මූලික අඩිතාලම බවත් රටේ දැවැන්ත සංවර්ධනයක් ඇති කරමින් ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ගම්පෙරළිය වැඩසටහන හරහා සංවර්ධන සංග්‍රාම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200ක් වැය කරමින් ආරම්භ කළ අතර ම ඒ හරහා එළැඹෙන මාස 05 තුළ බිලියන 60ක පමණ මුදලක් වෙන්කරමින් මෑත කාලයේ ක්‍රියාත්මක වන දැවැන්තම සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

රජය රටේ ආර්ථිකය වේගවත් කරන අතර ම නව ව්‍යවසායකයන්ට අතහිත දීමට මෙම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන ආරම්භ කළ බවත් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන යම් යම් ණය යෝජනා ක්‍රමයන් වෙනුවෙන් පොළිය 100%ක් ම ආණ්ඩුව විසින් දැරීමට කටයුතු කරන අතර ම සුළු ණය යෝජනා ක්‍රමයේ සිට විශාල ණය මුදල් දක්වා අයකරනු ලබන පොළිව 6.5%ක් බවත් ඒ හරහා ණය යෝජනා ක්‍රමවල පොළියෙන් 75%ක පමණ මුදලක් රජය විසින් දරන බවත් කීය.

කාන්තාවන්ට මෙන් ම අබාධිත සොල්දාදුවන්ට මෙන් ම ආබාධිත පුද්ගලයින්ට ව්‍යාපාර අවස්ථා ආරම්භ කිරීමේ දි ප්‍රකාශ කර ඇති ණය ප්‍රමාණයටත් වඩා තවත් 10%ක සහනයක් ලබාදිමට කටයුතු කරන බවත් මෙහිදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *