කළු ග‍ඟේ දියවර රැඳවුම් මංගල්‍යය අද

(කොළඹ, ලංකාපුවත්) – කළු ගඟ ජලාශයේ දියවර රැඳවුම් මංගල්‍යය සහ මොරගහකන්ද – කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීමේ මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (23) උදේ 9.00ට යෙදෙන සුබ මොහොතින් ලග්ගල කළු ගඟ වේල්ල අභියසදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත් වේ.

ඊට සමගාමීව මෙම ව්‍යාපෘති භූමියේ පිහිටි ගලක නෙලා ඇති අවුකන බුදු පිළිමයට සමාන මහා බුදු පිළිමය ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා ජනගත කිරීමත් , මොරගහ කන්ද ජලාශයෙන් උත්පාදනය කෙරෙන ජල විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමත් ජනාධිපතිතුමා අතින් සිදු කෙරේ.

‘ස්වයංපෝෂිත යුගයක මඟ කියන දියවර ලකුණ‘ ලෙස සැලකෙන මොරගය කන්ද – කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම ජල ගබඩා කිරීමේ සංකීර්ණය වෙයි. මෙහි සම්පූර්ණ ධාරිතාවය අක්කර අඩි 660000ක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය මෙන් සය ගුණයකි. මේ අනුව මොරගහ කන්ද ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 570ක් ( අක්කර අඩි 461700ක්) වන අතර කළු ගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 248ක් ( අක්කර අඩි 200800ක්) වේ.

අද 23 දා ආරම්භ කෙරෙන මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘතියේ මහ ඇළ ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් තුනකින් ව්‍යාපෘති තුනක් ලෙස ක්‍රියාවට නැංවෙයි.

මහකනදරාව දක්වා දිග කිලෝමීටර් 96ක් වන අතර එය එය කිලෝමීටර් 28ක උමං මාර්ගයකින් ද සමන්විත වාරි ඇල මාර්ගයකින් ද යුක්ත ය. වයඹ සවර්ධනය සඳහා දිවෙන ඇළ මාර්ගය කිලෝමීටර් 93කි.

මූලික වශයෙන් මොරගහ කන්ද යටල්ල දක්වා මෙම ඇළෙන් ජලය රැගෙන යන අතර විවෘත හා භුගත ලෙස මේ මාර්ගය ක්‍රියාත්මකය. යටල්ල ප්‍රදේශයේදී කොටස් තුනකින් මෙම ඇල මාර්ගය ක්‍රියාත්මක වෙයි. ඒ අනුව පානීය ජලය හා වගා සඳහා හුරුළු වැවට වාර්ෂිකව ඝන මීටර් මිලියන 124ක් ද, හුරුළු වැව , මාන්නන්කට්ටිය, ඒරා වැව, නච්චාදූව හා තිසාවැව හරහා මහකන්දරාව දක්වා කිලෝ මීටර් 96ක් දිග ඇලක් මගින් ජලය බෙදා හැරේ.

මෙමගින් වයඹටත් ඇහැටු වැව කලාපයටත් අතිරික්ත ජලය යොමු කෙරේ. ඒ අනුව තවත් මහ වැව් හා කුඩා වැව් මාර්ග 350ක් මෙමගින් පෝෂණය කිරීමට නියමිතයි. මේ අනුව මහ ඇළ ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැව්1200 පමණ පෝෂණය කෙරේ.

තෙවන ව්‍යාපෘතිය ලෙස මිනිපේ වැව් අමුණ මීටර් තුනයි දශම පහක් දක්වා තවදුරටත් උස් කර විදුලි උත්පාදනට ජලය යොදා ගැනීමත් ඉන් මුදා හැරෙන අතිරික්ත ජලය වස්ගමුව දක්වා ගොවි බිම් සාරවත් කරමින් ගලා ගොස් අවසානයේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වන සතුන් සඳහා ජලය ලබා දීමට පියවර ගැනේ.

මෙම ව්‍යාපෘතිය මගින් අක්කර ලක්ෂ දෙකක් දෙකන්නයට වගා කිරීම ඒ අනුව වසරකට කුඹුරු අක්කර ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් වගා කිරීම ඉලක්කයකි.

වගා තිව්‍රරතාවය 200%කින් නැංවීම, පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව තිබේ. මෙම ප්‍රදේශවල ගැටලුවක් ව ඇති වකුගඩු රෝගය නිවාරණය සඳහා ද මෙම ව්‍යාපෘතිය පිළියමක් වනු ඇති බවට විශ්වාස කෙරේ.

පරිසර පද්ධතිය ආරක්ෂාකරමින් වැඩිදියුණු කිරීම, වන සත්ත්ව ආරක්ෂාව, අලි මිනිස් ගැටුම නිරාකරණය මෙමගින් අපේක්ෂිත තවත් ප්‍රධාන කරුණු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *