දුම් සහතිකය රැගෙන නොගියොත් දඩය අනිවාර්ය වේ

(කොළඹ, ලංකාපුවත්) – සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වෙයි.

දුම් පරීක්ෂණ සහතිකය රැගෙන නොයෑම

2018 ජූලි 15 වනදා සිට වහනවල හා යතුරුපැදිවල වායු විමෝචන සහතිකය (දුම් සහතිකය) වහනයේ රැගෙන නොයෑම සඳහා රු. 500 ක ස්ථානීය දඩයක් නියම කර තිබේ.

2003 වසරේ දී, විශාල ලාභ ඉපයීම සඳහා ලෝකයේ අනාරක්ෂිතම හා ප්‍රමිතියෙන් තොර වාහන මෙරටට ගෙන්වන ඉන්දියානු වාහන ව්‍යාපාරිකයන්ගේ මුදල්වලින් දේශපාලන කටයුතු කෙරූ පිරිස් සිටිනා එකල එක්සත් ජාතික පක්ෂ රජය විසින් රටේ සමාජය දූෂණයට පුහුණු කිරීමට හා පරිසරය රැවටීම සඳහා ලංකාවේ වාහන ඇමරිකාවේ නිෂ්පාදිත වාහන යැයි නිගමනය කරමින් දුම් සහතිකය සඳහා අගයන් ගෙනවිත් තිබුණි.

පසුව, 2009 දී එකාදිපති රාජපක්ෂ පාලනයේ අන්ත දූෂිත පරිසර ඇමතිවරුන්ට හා ඔවුන්ගේ දේශපාලන පක්ෂවල මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා දෙන ව්‍යාපාරික ඩීල් මත සැකසුණු එම අන්ත දූෂිත වායු විමෝචන ක්‍රමවේදයට රුකුල් දීම සඳහා දුම් සහතිකය රැගෙන යෑම අනිවාර්ය කරමින් නීති සංශෝධනය ගෙන ආවේ 2009 දීය.

නමුත් ශ්‍රී ලංකා පොලිසිය විසින් 2009 සිට එම නීතිය ඒකාකාරව ක්‍රියාත්මක නොකල අතර ආදායම් බලපත්‍රය ලබාගන්නා අවස්ථාවේ දුම් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම නිසා හා අදාළ දුම් සහතිකයේ අංකය ආදායම් බලපත්‍රයේ මුද්‍රණය වන නිසාත්, එම සහතිකය විශාල ප්‍රමාණයක සහතිකයක් වන නිසාත්, ජනතාව දුම් සහතිකය රැගෙන නොයෑමට කටයුතු කරති.

දුම් පරීක්ෂාව යනු දූෂිත හා ප්‍රායෝගික නොවන අමූලික බොරුවක් බවට ලංකාවේ සියලුම රියදුරන් එක හඬින් පිළිගන්නා කාරණාවකි. මේ පිළිබඳව අප විසින් පසුගිය ජූලි 9 වනදා පරිසර අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

උක්ත තත්ත්වය හේතුවෙන් බොහොමයක් රියදුරන් හා යතුරුපැදිකරුවන් අදාළ සහතිකය ඉවත දමා හෝ අස්ථාන ගතව ඇති බවට අපට වර්තා වේ. පසුගිය 15 වනදා සිට එය රැගෙන නොයෑමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රියදුරන් මුදල් නාස්ති කර ගනිමින් නැවත වායු විමෝචන පරීක්ෂාවකට වාහන හා යතුරුපැදි භාජනය කිරීමට කටයුතු කරති.

මේ පිළිබඳව අප කල සොයා බැලීමකදී දැනට වායු විමෝචන සහතිකය ලබා දෙන සියලුම ආයතන එම දත්ත ගබඩා කර ගන්නා නිසා, එලෙස ඉවත දමා හෝ අස්ථානගතව ඇති වායු විමෝචන සහතිකය නැවත මුද්‍රණයක් ලබා ගැනීමේ සම්පූර්ණ හැකියාවක් තිබේ. වාහනය හා එහි ලියාපදිංචි සහතිකය නැවත එම වායු විමෝචන සේවා ස්ථානයට ඉදිරිපත් කර, කුඩා මුදලක් (රු. 150-250 වැනි) ගෙවා එම සහතිකයේ නැවත මුද්‍රණයක් හෝ සහතික පිටපතක් ලබාගත හැකි බවට අප වෙත එම ආයතන තහවුරු කර තිබේ.

විද්‍යාත්මකව, වායු විමෝචන සහතිකයේ අගයන් වලංගු වන්නේ සීමිත කාල සීමාවක් සඳහා පමණි. මන්ද, ඕනෑම කාර්මික දෙයක් පළුදු වන අතර, වාහනයක / යතුරුපැදියක වායු පෙරනය ද කලක් ඇතුළත දූවිලි ගොස් සිරවී ඒ හරහා ගමන් ගන්නා වායු ප්‍රමාණය වෙනස් වේ. මේ හේතුවෙන් ඉලෙක්ට්‍රොනික ඉන්ධන හා වායු සම්මිශ්‍රණය පද්ධතියක් නොමැති වාහනයක් / යතුරුපැදියක් නැවත පරික්ෂා කරන විට වායු විමෝචන අගයන්ට බොහෝ විට අනුකූල නොවේ. මෙය සාමාන්‍ය තත්ත්වයකි. නීතියේ අවශ්‍යතාව එය වසරකට වතාවක් අනුකූල කිරීම පමණි.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. සහතිකය නැවත මුද්‍රණයක් ලබා නොදීමට කටයුතු කරනා වායු විමෝචන ආයතන ඇතොත් ඒ පිළිබඳව 0773083479 දුරකථන අංකය හරහා අප සංගමය දැනුවත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

චිරන්ත අමරසිංහ
සභාපති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *