21වන සියවසෙහි දීර්ඝතම ලෝහිත චන්ද්‍රග්‍රහණය සිකුරාදා

(කොළඹ, ලංකාපුවත්) – පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ඒ මේ මස 27 වනදාට යෙදෙන ඇසළ පුන් පොහෝ දිනයේදීය.

පොහෝ දින(27) රාත්‍රී සිට ජුලි 28වනදා අලුයම තෙක් පැය 06 විනාඩි 14ක පමණ කාලයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන 21වන සියවසෙහි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නිරීක්‍ෂණය කිරීමට අපට ද අවස්ථාවක් ලැබෙනු ඇත.

මෙදින සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථීවිය ගමන් කරන අතර පෘඨීවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් සදු ගමන් කිරීම හේතුවෙන් පැය 01කුත් විනාඩි 43ක කාලයක් තුළ සඳු අදුරු වී යයි. මෙය මෑතකාලයේ ඇතිවූ අනෙකුත් පූර්ණ චන්ද්‍රග්‍රහණවලට වඩා සියයට 40ක පමණ දිගු කාලයකි.

මෙම දිනවල චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වන ඉලිප්සාකාර කක්ෂයේ, පෘථීවියට දුරින් පිහිටි ස්ථානයක ඇති හෙයින් පෘථීවි සෙවණැල්ල හරහා ගමන් කිරීමට සදුට දිගුකාලයක් ගත වීම මෙම දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ඇති වීමට හේතුව බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දෙයි.

එසේම වසර 100ක් තුළ දී දිස්වන දීර්ඝතම ලෝහිත චන්ද්‍රයා වන්නේ ද මෙයයි.

මෙම ග්‍රහණ අවස්ථවේ දී බොහෝ දුරට චන්ද්‍රයා අදුරු පැහැයට වඩා රත් පැහැයක් ගනු ඇති බවට විශ්වාස කෙරේ. එබැවින් එය ‘බ්ලඩ් මූන්‘ වශයෙන් ද හදුන්වනු ලැබේ.

මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් 27වනදා රාත්‍රී 10.45 ට ආරම්භ වන අතර, එහි අවසානය පසුදින(28) අලූයම 4.58 ට සිදුවීමට නියමිතය. ග්‍රහණය ශ්‍රී ලංකාවට හොදින් දිස්වීම ඇරඹෙනුයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස රාත්‍රී 11.54 සිට සදු පෘථීවියේ පූර්ණ පූර්ණ ඡායාව තුළින් ගමන් ඇරඹීමත් සමගය.

මෙම ග්‍රහණය කොටස් වන්නේ ලොව බොහෝමයක් රටවලට දිස් වුවද මුළු ග්‍රහණයට හොදින් දිස්වනුයේ නැගෙනහිර අප්‍රිකාව, මධ්‍යම ආසියාව හා මැද පෙරදිග රටවලටය. චන්ද්‍රග්‍රහණය පියෙවි ඇසින් නැරඹිය හැකි අතර එය ඇසට අහිතකර නොවේ.

මෙම ග්‍රහණයෙන් පසු වසර 2025 දක්වා හොඳ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *