නවකවදයට වරදකරු වුවහොත් වසර 10ක් හිරේ

(කොළඹ, ලංකාපුවත්) – නවකවදය දෙන සිසුන්ට තරාතිරම නොබලා නවකවද පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නවකවද පනත යටතේ චෝදනා ලද්දකුට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයකුට වුවද බලයක් නොමැති බව කී රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වැරදිකරුවකු වුවහොත් වසර 10කට සිරගත කිරීමේ බලය පවතින බව ද අවධාරණය කළේය.

මෙතෙක් නිද්‍ර­ාශීලීව තිබුණු 1998 නවකවද පනත මේ වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන බව ද සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු හා පාලක සභා ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා පැවසීය.

හෙතෙම මේ අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ දී පැවැති මාධ්‍ය හමුවකට ඊයේ (30) එක් වෙමිනි.

සිසුන්ගේ විනය නොහදා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම ඉතා අසීරුවී තිබෙන බැවින් නවකවදය සම්බන්ධයෙන් අනුකම්පා විරහිතව කටයුතු කරන්නට සිදු ව තිබෙන බව ද හෙතෙම මෙහිදී සදහන් කළේය.

මෙරට ක්‍රියාත්මක වන නවකවදය අප්‍රිකාවේ ගෝත්‍රික ජනතාව අතරවත් දකින්නට නැති ම්ලේච්ඡ ලිංගික හිංසනයක් බවට පත් ව තිබෙන බවත් මේ නිසා විශ්වවිද්‍යාල හැර යන සිසුන් මෙන්ම සිය දිවි නසා ගැනීමට උත්සහ දරන සිසුන් ද සිටින බවත් කීවේය.

ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන් කුලී පදනම මත විශ්වවිද්‍යාලයෙන් පිටත නිවාස ලබා ගෙන වදකාගාර පවත්වාගෙන යමින් නවක සිසුන්ට ශාරීරික හා ලිංගික හිරිහැර සිදු කරන බවත් එවැනි පැමිණිලි රැසක් අමාත්‍යාංශයට හා කොමිසන් සභාවට ලැබී තිබෙන බවත් පැවසීය. එම සිසුන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබෙන බව කී ඇමැතිවරයා, නවකවදය සම්බන්ධයෙන් දැනුම් දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දුරකතන අංකයක් හදුන්වා දී තිබෙන බවත් කීවේය. එමෙන්ම නියාමක ව්‍යාපෘතියක් ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හදිසි ඇමැතුම් ඒකකයක් ඇති කර තිබෙන අතර ඉදිරියේදී එය සෑම විශ්වවිද්‍යාලයකම ස්ථාපිත කරන්නට කටයුතු යොදන බව ද කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + one =