සංචාරක හිතවාදී ටුක් ටුක් හඳුන්වා දෙයි- ත්‍රී රෝද රථවලට Wifi සහ මාර්ග සිතියම් පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක හිතැති ත්‍රිරෝද රථ ප්‍රචලිත කිරීමේ අරමුණෙන් එම රථවලට Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මීට අමතරව දැනට පවතින ඉන්ධන රථයෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ වෙත මාරු වන රියදුරු මහතුන් වෙනුවෙන් ද විශේෂ සහන ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, සංචාරක මිතුරු
ත්‍රිරෝද රථ සන්නාමය දියත් කිරීමේ සමාරම්භක උළෙලට එක් වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ඊයේ (30) ගාලු මුවදොර දී පැවැත්විණි. මෙම වැඩපිළිවෙළ යටතේ ත්‍රිරෝද රථ රියැදුරන්ට විශේෂ නේවාසික පුහුණුවක් ලබා දෙනු ලබන අතර එසේ පුහුණුව ලත් රියදුරන්
සහ අදාළ ප්‍රමිතීන්ට අනුව සකස් කළ ත්‍රීරෝද රථ සඳහා හඳුනා ගැනීමේ පුවරු ලබා දීම ද සිදු කෙරේ. උත්සවයේ දී අදහස් දැක් වූ මංගල සමරවීර මහතා –

2018 අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක මේ වැඩසටහන සඳහා අයවැය මගින් රුපියල් මිලියන 50ක් පළමු අදියර සඳහා වෙන් කරල තියෙනවා. ඔවුන් මේ රටේ දෛනික ජීවිතයේ දී ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරන පිරිසක්, නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරද්දි කවදාවත් ඔවුන්ගේ සේවය පිළිබඳ ඇගයීමක් හෝ හඳුනා ගැනීමක් සිදුවෙලා තිබුණේ නැහැ. ඇත්තට ම කිව්වොත් දැනට රටපුරා ත්‍රීවිල මිලියන 1.3 ක් විතර තියෙනවා. ඒවායින් ලක්ෂ 8 ක් විතර එදිනෙදා මහජන ප්‍රවාහන සේවයට යොදවලා තියෙනවා. ඒ වගේම, කොළඹ නගරය තුළ විතරක් ත්‍රී විල් රථ 60,000 ක් විතර තියෙන බව සොයාගෙන තියෙනවා. අපේ අරමුණ මේ අය ආර්ථික වශයෙන් බල ගැන්වුනු පිරිසක් බවට පත් කර ගැනීමයි.

ඒවගේම අපේ රටේ ජාතික ආර්ථකයේ තුන්වෙනි වැඩිම ආදායමක් ගෙනෙන අංශය තමයි සංචාරක අංශය. එතෙන්දි අපිට පෙනී යනවා මේ රටට එන සංචාරකයින් ඔවුන්ගේ ගමනේ වැදගත් කොටසක් විදියට ත්‍රීවිල් එකක නැගලා ටුක් ටුක් සංචාරයක් යාමට විශාල කැමැත්තක් දක්වන බව. මේ වැනි සංචාරකයින්ගේ පැමිණීම පහුගිය අවුරුදු දෙක තුන තුළ ඉතා විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා. උදාහරණයක් විදියට 2017 අවුරුද්දේ ලංකාවට විදේශ සාංචාරකයින් මිලියන 2.1 ක් පමණ ඇවිල්ලා තියෙනවා. ඔවුන්ගෙන් රටට ලැබුණු ආදායම් ඩොලර් බිලියන 4 කට ආසන්නයි. 2020 වෙනකොට රටට එන සංචාරකයින් ප්‍රමාණය මිලියන 4.2 දක්වා වැඩිකරගෙන ඔවුන්ගෙන් ලැබෙන ආදායම් ඩොලර් බිලියන 7 ක් දක්වා වැඩිකර ගැනීම අපේ සැලැස්මක්.

විශේෂයෙන් ම ලංකාවට එන සංචාරකයො බැලුවොත් බටහිර යුරෝපයෙන් එන තරුණ පිරිස මෑතකදී ගොඩක් වැඩිවෙලා තියෙනවා. ලංකාවට එන මුලු සංචාරකයින් අතරින් 32% ක් විතර මේ අය. ඔවුන් තරුපහේ හෝටල්වල ඉන්නවට වැඩිය
සාමාන්‍ය ගෙදරක නැවතිලා ටුක් ටුක් එකකින් ගමනක් ගිහින් අපේ ආහාර පාන රසවිදලා සාමාන්‍ය ජනතාවත් එක්ක ජීවිතය බෙදා හදාගෙන යන්න වැඩි කැමැත්තක් තියෙන බව පේනවා. නමුත්, මේ ක්ෂේත්‍රයේ ක්‍රමවත් බව අඩුකම නිසා එහෙම නැත්නම් සමහරුන් හිතුමතේට ගණන් අය කරන නිසා සමහර වෙලාවට මේ එන සංචාරකයින් කලකිරීමට පත්වෙන්නත් පුලුවන්. ඒක තේරුම් අරගෙන අපි සංචාරක ක්ෂේත්‍රයේ අසංවිධිත ක්‍රියාකාරකම් ක්‍රමවත්ව සංවිධානය කරගෙන මේ අංශය තව තවත් සංවිධිත බවට පත්කරන්න කටයුතු කරමින් යනවා. අද වෙනකොට දිස්ත්‍රික්ක ගණනාවක 750 කට වැඩි ටුක් ටුක් රියදුරන්ට නේවාසික පුහුණුවක් ලබාදීලා ඔවුන් සංචාරක මඟපෙන්වන්නන් වශයෙන් තමන් ජීවත් වන ප්‍රදේශවලම ව්‍යාපාරික කටයුතුවල යෙදෙන්න අපි ඉඩකඩ සලසලා තියෙනවා. අපේ සංචාරක සංවර්ධන අධිකාරියෙන් පුහුණුව ලබාදෙන සංචාරක හිතවාදී ටුක් ටුක් රියදුරන්ට විශේෂ හැඳුනුම්පතක්, සංචාරක හිතැති නිල මුද්‍රාවක්, ඒ වගේම සහතිකයක් ලබා දෙනවා. මේ සියලු ටුක් ටුක් තිබිය යුතු අවම ප්‍රමිතියක් වගේම Wifi පහසුකම්, ඒ වගේම අදාළ ප්‍රදේශවල මාර්ග සිතියම්, වැදගත් සංචාරක ස්ථාන පිළිබඳව විස්තරත් ලබාගත හැකියි. ඒ සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඇත්තෙන්ම, මේ වැඩසටහන තුළින් අපි ඔබ සියලු දෙනාටම වෘත්තීය අභිමානයක් ලබාදීලා තියෙනවා. එතනදි අපි බලාපොරොත්තු වෙනවා ඔබලා සියලු දෙනාම මේ රටට පැමිණෙන සංචාරකයින් ගෞරවනීය අමුත්තන් ලෙස ඔවුන් රැකබලා‍ගෙන සුරක්ෂිතව තමන්ගෙ නිවාඩුව ලංකාවේ ගතකරල ආපහු ගෙවල් දොරවල් කරා යන්න ඔවුන්ට උදව් කරයි කියලා. අපේ වැඩසටහන මෙතනින් නතර වෙන්නේ නැහැ. අපි ඔබතුමන්ලාට විදුලි බලයෙන් ධාවනය වන ටුක් ටුක් රථ ලබාදෙන කාලය වැඩි ඈතක නැහැ. ඒ සඳහා අපි ජපාන රජයත් එක්ක එකතුවෙලා වැඩසටහනක් ආරම්භ කළා. ඒ තුළින් පරිසර හිතවාදි, සංචාරක හිතවාදී ත්‍රීවිල් රථ ව්‍යවසායකයින් බවට ඔබ සැමට පත්වෙන්න පුළුවන්. 2035 වෙද්දි ඉන්ධනවලින් තොර රථවාහන හඳුන්වල දීම සඳහා ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයකට මාරුවන පිරිස සඳහා විශේෂ සහන ලබා දෙන්නටත් අපි කටයුතු කරනවා. ඒ වගේම ඔබගේ බිරිඳ වෙනුවෙනුත් අපි ව්‍යවසායක අලුත් වැඩසටහනක් හඳුන්වා දෙනවා. ඒ තුළින් Enterprise Sri Lanka අඩුපොලී ණය යෝජනා ක්‍රම යටතේ ඔබගේ බිරිඳටත් පවුලේ ආර්ථිකයේ වැදගත් මෙහෙවරක් ඉෂ්ඨ කරන්න ඉතා ඉක්මනින් අපි මඟ පාදන බව මතක් කරන්න කැමතියි. මේ උත්සවය සංවිධානය කිරීම පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරියටත් විශේෂයෙන් කාවන් රත්නායක මැතිතුමාටත් මා ස්තුති වන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මැතිතුමාටත් මගේ විශේෂ ස්තුතිය පිරිනමන්න කැමතියි යැයි ද මංගල සමරවීර ඇමැතිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට ජොන් අමරතුංග, හර්ෂ ද සිල්වා, සාගල රත්නායක යන මැති ඇමැතිවරු ද කොළඹ පුරපතිනී රෝසී සේනානායක මහත්මිය ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *