මන්නාරම සමූහ මිනීවලෙන් අස්ථි කොටස් 62 ක් හමුවේ

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ තුළින් මිනිස් සිරුරු 62 ක අස්ථි කොටස් හමු වී තිබේ.

මිනිස් සිරුරු 40 කට අදාල කොටස් කැනීම් මගින් ඉවත්කර ඇති අතර ඉන් සිරුරු 34 ක කොටස් මේවන විට මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයේ තැන්පත්කර ඇති බව කැනීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රාජපක්ෂ මහතා පැවසීය.

අස්ථි කොටස් කැලිෆෝනියාවේ කාබන් පරික්ෂාකිරීමේ රසායනාගාරයට යොමුකිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය හරහා ඉල්ලීම් කර තිබේ.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් වැසියෙකුට හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුණි.

මන්නාරම පොලීසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කළේය.

පුරාවිද්‍යා නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ දින 46 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 62 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන තිබේ.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.ජි.ප්‍රභාකරන් මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්ර් රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්,මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලැබේ.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *