ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේද්‍රස්ථානය වීමේ අභිලාෂයට චීනයේ සහාය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අභිලාෂයට චීන කොමියුනිස්ට් පක්ෂෙය් හා එරට ජනතාවගේ පූර්ණ සහාය ලැබෙන බව චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ග්ඔ යෙඡු (Hon Guo Yezhou) මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරම්භ කළ “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ මේ සඳහා අනුබල ලැබීමේ අවකාශයන් උදාවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍ය ග්ඔ යෙඡු මහතා මේ අදහස් පළ කළේ අද (02) උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීය.

චීන කොමියුනිස්ට් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් අතර දශක ගණනාවක් තිස්සේ පැවැත එන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

ශ්‍රී ලංකාවටත්, එක්සත් ජාතික පක්‍ෂයටත් චීන කොමියුනිස්ට් පක්ෂය නිරන්තරව ලබාදෙන සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජිත පිරිස වෙත සිය ස්තුතිය පළ කර සිටියේය.

ඉදිරියේ දී දෙපාර්ශ්වය අතර තරුණ හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *