ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන කිසිදු සටන් පාඨයක් අදට වලංගු නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් රජය රට බෙදීමට හෝ රට පාවාදීමට කටයුතු කර නොමැති අතර, ඉදිරියට ද කිසි සේත් එවන් දෙයකට ඉඩක් නොමැති බව පවසන ජනාධිපතිතුමා, වීරෝදාර රණවිරුවන්ට ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපැම් සියල්ලෙන් ඔවුන් නිදහස් කර ගත්තේ ද වත්මන් රජය බව පවසයි.

රට පාවා නොදෙන ලෙස හා රණවිරුවන් රැක ගන්නා ලෙස ඉල්ලමින් යල්පැන ගිය සටන් පාඨ කියමින් ඇතැම් දේශපාලනඥයන් ලිප්ටන් වටරවුමේ සිට පෙළපාලි යන්නේ තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මනම්පිටිය නගරයේ හෙළ බොජුන් හලේ සිදු කෙරුණු සංවර්ධන කටයුතු රැසක් ඊයේ (02) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කරන සටන් පාඨ කිසිවක් අද දවසට වලංගු නොවන අතර, එදා කතා කළ විදුලි පුටු, ජාත්‍යන්තර යුධ අධිකරණ මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වීම යන සියලු කතා බහ වත්මන් රජය යටතේ නිමා වූ බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ 2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙමින් ඓතිහාසික පරිවර්තනයක් වත්මන් රජය දැන් රට තුළ සිදු කරමින් සිටින බවයි.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 21.53 ක වියදමින් මනම්පිටිය හෙළ බොජුන් හලේ සංවර්ධන කටයුතු නිමවා තිබේ.

ඇමතිනි තලතා අතුකෝරළ, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ වැඩ නිම කෙරුණු සංවර්ධන ව්‍යාපෘති 180 ක් දින තුනක් තුළ ජනගත කිරිමේ වැඩසටහන යටතේ ඊයේ් දින ද සංවර්ධන ව්‍යාපෘති 60 කට ආසන්න ප‍්‍රමාණයක් ජනාධිපතිතුමාගේ, මැති ඇමතිවරුන්, විද්වතුන් ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පවරාදීම සිදු කෙරිණි.

මේ අතර රුපියල් මිලියන 134 ක වියදමින් ඉදිකෙරුණු වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ පස්වරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ දිස්ති‍්‍රක්කයේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අනුව රුපියල් මිලියන 04 කට ආසන්න මුදලක් වැය කරමින් මනම්පිටිය මාගම්තොට විහාරයේ ඉදිකෙරුණු ධර්මශාලාව හා සංඝාවාසය සහිත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ද ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

රුපියල් මිලියන 132 ක වියදමින් මනම්පිටිය රෝහලේ බාහිර රෝගී අංශය හා සායන ගොඩනැගිල්ලේ් ඉදිකිරීම් ද ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරිණි.

දේශපාලන පක්ෂ බේදයකින් තොරව මැති ඇමතිවරුන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවන් සදහා ජනාධිපතිතුමා සමග එක්ව සිටි අතර විද්වතුන්, ආරක්ෂක අංශ ප‍්‍රධානින් ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන පිරිස් ද එක්ව සිටියහ.

එමෙන්ම තම ප‍්‍රදේශයට ලැබුණු සංවර්ධනයේ අරුණලු දැක බලා ගැනීම වෙනුවෙන් අතිවිශාල ජනතාවක් ද එම උත්සව ස්ථාන වෙත රැස්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *