එජාප ප‍්‍රතිසංවිධාන යෝජනා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා- ඇමති රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අදාලව යෝජනා වූ බොහෝ දේ මේ වන විට සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාවට නැගෙන බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පක්‍ෂයේ හා පාක්‍ෂිකයින්ගේ අනාගය වෙනුවෙන් පක්‍ෂය තුළ සිදු කළ අරගලය සැබෑවක් කර ගැනීමට හැකි මට්ටමක් නිර්මාණය වෙමින් තිබෙන බවද ඔහු පැවැසීය. එමෙන්ම අදාල යෝජනා මේ දක්වා ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවත්, තවත් බෙහෝ දේ සිදු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ තුළ ගම් මට්ටමේ පාක්‍ෂිකයින්ගේ පිබිදීමක් ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ආණමඩුව, එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයේ ඊයේ (02) පැවැති පාක්‍ෂික හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් තවත් කාරණයක් වන්නේ රජයේ මුදල්වලින් අම්මගේ තාත්තගේ සොහොන් කොත් හදපු පුද්ගලයින් මේ රටේ බලයට පත්කිරීමට උත්සාහ කිරීම කොතරම් සුදුසුද යන්න පිළිබඳ සමාජය ප‍්‍රශ්න කරමින් සිටින බවයි. බලයට ඇති කෑදරකමේ පිපාසය සංසිදුවා ගැනීම සඳහා පොහොට්ටු පිල ජනතාව උගසට තැබීමේ ව්‍යාපාරයක නිරිතව සිටින බවද ඔහු අවධාරණය කළේය.

සුදු වෑන් සංස්කෘතියක් හදුනවා දෙමින් මුළුමහත් සමාජයක් භිතියට පත්කළ යුගයක් නැවත රටට අවශ්‍ය නොමැති බව මේ රටේ ජනතාව එක හඩින් කියා සිටින යුගයක් නිර්මාණය වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රටක් ණය බරින් පෝෂණය කළ හා බිය, සැකය, දුක බලහත්කාරයෙන් ජනතාවට තුරුළු කරමින් රට පාලනය කළ යුගය වෙනස් කළ ජනතාවට නැවත එවැනි ඉරණමකට මුහුණ දීමට එක්සත් ජාතික පක්‍ෂය කිසි විටෙකත් ඉඩ නොතබන බවද ඔහු කියා සිටියේය.

එබැවින් සුදුසුකම් පරීක්‍ෂා කර 2020 නායකයා තෝරා ගැනීම ජනතාවගේ වගකීමක් බවත්, ඒ සඳහා සුදුසුම තෝතැන්න එක්සත් ජාතික පක්‍ෂය බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *