අනූ‍හයේ තාත්තා පරණ වැඩ පෙන්වන ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ප්‍රකාශයට

(කොළඹ, ලංකාපුවත්) –ලොවපුරා පැවැත්වෙන විවිධාකාර වූ ක්‍රිකට් තරගාවලි අතරට එක්වන අසිරිමත් අපූරු ක්‍රිකට් තරගාවලිය “මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය” නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

ඒ ලෝකශූර අනූහයේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති එකඟතා ගිවිසුමට එළැඹීමේ නිල උත්සවයෙනි.

කොළඹ හෝටලයක ඊයේ (05) පැවැති එම උත්සවයට අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග, අසංග ගුරුසිංහ, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, චමින්ද වාස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවීන්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන එක්ව සිටියහ. මීට අමතරව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන නුවන් සොයිසා, ලංකා ද සිල්වා, අවිශ්ක ගුණවර්ධන ඇතුළුව ජ්‍යේෂ්ඨ සහ ප්‍රවීණ ක්‍රීඩකයින් රැසක් එම උත්සවයට එක් වූහ.

තරගාවලියේ උපදේශක ලෙස කටයුතු කරන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංගයි. අනූහයේ‍ ලෝකශූර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ තරගාවලියට එක්වන එක් එක් කණ්ඩායමේ කණ්ඩායම් නායකයින් ලෙස කටයුතු කරයි.

SPORTONIX ආයතනය සංවිධානය කරන මයි ඩෑඩ් මයි සුපර් ස්ටාර් – ඩෑඩ් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් ගණන 18කි. කණ්ඩායම් නම් කිරීම පාසල් පදනම් කර ගනිමින් සිදු කෙ‍රේ. “තාත්තට ආදරෙන්….” යන තේමාව යටතේ පැවැත්වෙන තරගාවලිය සඳහා එක්විය හැක්කේ පියවරුන්ට පමණක් වීමද විශේෂත්වයකි. ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන තරගාවලියේ සියලු තරග කොළඹ එන්. සී. සී., බ්ලූම්ෆීල්ඩ්, බී. ආර්. සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමටත් සංවිධායක ආයතනය තීරණය කර තිබේ.

තරගාවලිය ප්‍රකාශයට පත් කිරීමේ නිල උත්සවයට එක් වෙමින් අනූහයේ ලෝකශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය යනු හුදු තරගාවලියක් පමණක් නොවන බවයි. අනූහයේ කණ්ඩායමේ සමාජ වගකීම තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ‍මෙම තරගාවලිය පැවැත්වෙන බවද ඔහු අවධාරණය කළේය. ග්‍රාමීය පාසල් ඉලක්ක කර ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ස්වකීය දායකත්වය ලබා දීමේ සමාජ සත්කාරයක් ලෙසට මෙම ක්‍රිකට් තරගාවලිය උපයෝගී කර ගන්නා බවද ඔහු කියා සිටියේය. තරගාවලිය ගැන අදහස් දක්වමින් අනූහයේ ලෝක ශූර කණ්ඩායමේ සාමාජික රවීන්ද්‍ර පුෂ්පකුමාර පැවසුවේ මෙම තරගාවලිය තාත්තලා වෙනුවෙන් තිළිණ කෙරෙන අපූරු ක්‍රිකට් තරගාවලියක් වන බවයි.

“ඇත්තටම සෑම ක්‍රීඩකයෙක්ම ඉස්සරහට ගේන්න ලොකු කැපකිරීමක් කරන්නේ තාත්තලා. ඉතිං අපිට හිතුණා ක්‍රිකට්වලට ආදරේ තාත්තලා වෙනුවෙන් මොනවා හරි කරන්න. අපේ කාලයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ඉන්නවා එතැනින් පස්සේ නැවත ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබෙන. මේ සියලු දෙයම සලකලා තමයි අපි ඩෑඩ්ස් ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළේ. ශ්‍රී ලංකාවේ පළමුවැනි වතාවට තමයි මේ වගේ තරගාවලියක් පැවැත්වෙන්නේ. එය අපි හැමෝටම සුන්දර අත්දැකීමක් වේවි. අනික් අතින් අනූහයේ අපේ සහෝදර ක්‍රීඩකයින් නැවත පිටියට පැමිණ ක්‍රීඩා කිරීමත් සියලුදෙනාටම ලොකු ආස්වාදයක් ගෙන දේවි…..” යැයිද රවීන්ද්‍ර පුෂ්පකුමාර පැවසීය.

විස්සයි විස්ස ආකෘතියට පැවැත්වෙන මෙම තරගාවලියේදී දිරි ගන්වන්නන් ලෙස එක් වන්නේ එක් එක් ක්‍රීඩකයින්ගේ දරුවන් වීමද විශේෂත්වයකි. තරගාවලිය ගැන තවදුරටත් තොරතුරු 0765 36 37 37 දුරකථන‍ අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *