සීගිරිය ලෝක උරුමයට හානි වන කිසිදු තීරණයක් ගැනීමට කිසිවකුට ඉඩ තබා නැහැ – ඇමති අකිල

(කොළඹ, ලංකාපුවත්) – සීගිරිය ලෝක උරුමයට හානි වන කිසිදු තීරණයක් ගැනීමට කිසිවකුට ඉඩ තබා නොමැති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම නිවේදනය පහත පරිදි වේ.

සීගිරිය ලෝක උරුමයට හානි වන කිසිදු තීරණයක් ගැනීමට
කිසිවකුට ඉඩ තබා නැහැ. ඉදිරියට ඉඩ තබන්නේ ද නැහැ.

සීගිරිය පර්වතය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මාගේ පාලන සමයේ මැදිහත්ව ඇති බවත් ඒ හරහා සීගිරිය ලෝක උරුමයට හානි ඇති විය හැකි බවත් පවසමින් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කිහිපයක් පල විය. ඇතැම් අවස්ථාවල මේ සම්බන්ධව පල වූ අදහස් කරුණු නිසි පරිදි සොයා නොබලා සිදුකරන ලද ඒවා බව පෙනේ.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මා මධ්‍යම සංස්කෘතික අරමුදලට නායකත්වය ලබා දෙන විට මෙරට උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීත්‍යානුකූල ලෙස සහ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ක්‍රියා කළ බව වගකීමෙන් යුතුව අවධාරණය කරමි. දේශපාලනික වශයෙන් අවාසිදායක වුව ද මා නිවැරදි දේ නිවැරදිව සහ නීත්‍යානුකූල අයුරින් ඉටු කිරීමට පියවර ගත් අතර මෙරට අතීත උරුමයන් සහ ජාතියක් ලෙස අපේ ප්‍රෞඪත්වය ජාත්‍යාන්තරයට ගෙන යාම සඳහා අවශ්‍ය නායකත්වය ලබා දුනිමි. යුනෙස්කෝවේ මෙරට සභාපතිවරයා ලෙසත් යුනෙස්කෝ නිර්දේශයන්ට අනුව උරුම සංරක්ෂණය සඳහාත් මා නොබියව තීන්දු තීරණ ගෙන ඇති අතර අද වන විට ද යුනෙස්කෝවේ සභාපතිවරයා ලෙස එම වගකීම මා වෙත පැවරී ඇති බව ද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

සීගිරියට කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම සම්බන්ධයෙන් මා කිසිදු ආකාරයක යෝජනාවක් හෝ ඉල්ලීමක් සිදු කර නොමැති බව වගකීමෙන් යුතු ව අවධාරණය කරමි.

මාගේ විෂය පථයට අයත්ව පැවති මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අතට පත් කරන විට ද පැවතියේ එම තත්වයමය.

වර්තමානය වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විෂයභාර අමාත්‍යවරයා වන්නේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතායි. එබැවින් දැන් ඒ සම්බන්ධව තීන්දු තීරණ ගැනීම එතුමන් විසින් සිදුකරන අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකරන බවට පවසමින් චීන කණ්ඩායමක් සිදු කළා යැයි පැවසෙන ගවේෂණය පිළිබඳ නිවැරදි කරුණු සොයාබැලීම වර්තමාන විෂයභාර අමාත්‍යවරයා විසින් සිදුකරනු ඇති අතර ඔහු විසින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ද හෙලි කරනු ඇති බව මාගේ විශ්වාසයයි.

ඇතැම් කණ්ඩායම් මෙම සිද්ධිය මා සහ විෂයභාර අමාත්‍යවරයා අතර ගැටුමක් ලෙස හුවා දැක්වීමට ද උත්සාහ කරන බවත් ඉන් ද නොනැවතී සීගිරිය වැනි ලෝක උරුමයන් විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක රජය කටයුතු කරන බවටත් බිල්ලෙක් මවාපාමින් ජනතාව නොමග යැවීමේ අශෝභන දේශපාලන සහ මාධ්‍ය භාවිතයක නිරත වන බව පෙනෙන්නට තිබීම කණගාටුදායක තත්වයකි.

මෙවැනි බලලෝභී දේශපාලන හා ඇතැම් මාධ්‍ය භාවිතාවන් තරයේ ප්‍රතික්ෂේප කිරීමට ද මා මෙය අවස්ථාවක් කරගනිමි. වත්මන් රජය යටතේ මෙරට උරුමයන් ආරක්ෂා කරනු විනා කිසිදු ලෙසකින් විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් ඉදිරියේ දී ද ඉඩ නොතබන බවත් අවධාරණය කරන අතර පසුගිය පාලන සමයේ දී දේශපාලන වාසි අපේක්ෂාවෙන් නීතිය අවනීතිය බවට පත් කොට ලෝක උරුමයන්ට අයාලේ පාලනය වීමට ඉඩහරිමින් දේශපාලන වාසි ලබාගනීමින් විවිධ නීති විරෝධී ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ ලබා දී මුනිවත රකිමින් ක්‍රියාකළ රාජපක්ෂ රජයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා එහි බරපතල ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවී ඇත්තේ වර්තමාන රජයට බවද සිහිපත් කිරීමට අවස්ථාවක් කරගනිමි. අවසන් වශයෙන් ද සඳහන් කිරීමට ඇත්තේ මෙරට කිසිදු ලෝක උරුමයකට කිසිදු ආකාරයකින් හානියක් ඇති වන ආකාරයේ කිසිදු ක්‍රියාකාරමක් සඳහා යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපතිවරයා ලෙස මා ඉඩ ලබා නොදෙන බවයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
සභාපති
යුනෙස්කෝ සංවිධානය – ශ්‍රී ලංකාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *