“සුහුරු බෝග ආරක්ෂණ ව්‍යාපෘතිය” සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –අප රටේ ගොවිජනතාව විසින් වගා කරන බෝගවලින් 30% ත් 40% ත් අතර ප්‍රමාණයක් සතුන්ගෙන් වන හානි නිසා විනාශයට පත් වේ.විශේෂයෙන්ම අලියා , රිලවු, වඳුරෝ, වල් ඌරා, ඉත්තෑවා සහ මොණරා මෙන්ම දඩු ලේන්නු ද බහුලව වගා හානි සිදු කරන සතුන් වෙති.

මෙම සතුන්ගෙන් වන වගා හානි වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගොවීහු කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිරතුරුව ඉල්ලීම් ඉදිරිපත් කරති. එහෙත් සතුන් මරා දැමීමට පියවර නොගන්නාහෙයින් වගා හානිවලට සිදුවන සත්ත්ව හානි වළක්වාලීමට විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබී ය.

ඒ අනුව වෛද්‍යවරයෙක් වන සරත් විමලසූරිය මහතා සහ විදුලි ඉංජිනේරුවරයෙක් වන අචල උත්සුක යන මහත්වරු විසින් කුඩා සතුන්ගෙන් වන වගා හානි වැලැක්වීම සඳහා “සුහුරු බෝග ආරක්ෂණ පද්ධතිය” – Smart Crop Protection Systemනැමැති විද්යුත් පද්ධතියක් හඳුන්වාදෙනු ලැබීය.

මෙම පද්ධතිය පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ආදර්ශ ගම්මානය වන හපුතලේ කහත්තේවෙල ගම්මානයේ වගා ආරක්ෂණය සඳහා හඳුන්වා දෙනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් එම විදුලි පද්ධතිය විවෘත කළ අතර, එවැනි විදුලි පද්ධති 25ක් ගොවීන් වෙත රජයේ වියදමින් නොමිලේ බෙදා දෙනු ලැබී ය. එක් විදුලි පද්ධතියක වටිනාකම රු.ලක්ෂ විස්සකි.

මින් පෙර සතුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා එම ගමේ ගොවීහු නිදිවරමින්, රතිඤ්ඤා පත්තු කිරීම මෙන්ම පාට පාට රෙදි කැබලි එල්ලීම, දැල් ගැසීම, ශබ්ද කිරීම ආදී විවිධ උපක්‍රම භාවිතා කළත් ඒවා සාර්ථක නොවී ය.

නමුත් මෙම සුහුරු වගා ආරක්ෂණ පද්ධතිය මඟින් විදුලි වැටට සපයන විදුලිය මඟින් සතුන්ගේ ජීවිත වලට හානියක් සිදු නොවන අතර සතුන් බිය ගන්වා පලවා හැරීම සිදු කෙරේ.

මෙම ව්‍යාපෘතිය මේ වන විට ඉතාමත් සාර්ථක වී ඇති බව එම ගොවීහු පවසති.මෙවැනි ආරක්ෂණ පද්ධති වෙනත් ප්‍රදේශවල ගොවීන්ට හඳුන්වා දීමටත්, විශේෂයෙන් අලි වැනි විශාල සතුන්ගෙන් වන වගාහානි වළක්වාලීමට සුදුසු පද්ධතියක් නිර්මාණය කර දෙන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෛද්‍ය විමලසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *