තල්පිටිගල ජලාශයේ ඉදිකිරීම් ඇරඹිමට සියල්ල සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – තල්පිටිගල ජලාශයේ ඉදිකිරීම් ආර්ම්භ කිරීමට නියමිතය. බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි බත්මැඩිල්ල අමුණට ඉහළින් උමාඔය හරස් කර යෝජිත තල්පිටිගල ජලාශය ඉදි කිරීමට සැලසුම් කර තිබේ.

එමගින් බත්මැඩිල්ල ව්‍යාපාරය සඳහා වාරි ජලය සැපයීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් කන්දකැටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාසනාගම, මඩුල්ල, තැටිල්ල සහ බෙරමඩ යන ගම්මානවලට පානීය ජලය සැපයීමටත්, ගිගාවොට් පැය 51 ක ජල විදුලිබලයක් වාර්ෂිකව උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබේ.

සමස්ථ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 174කි. මෙහි ඇස්තමේන්තුගත පිරිවැයෙන් 85%ක් සඳහා අරමුදල් සැපයීමට චීනයේ අපනයන ආනයන බැංකුව එකගවී තිබේ.

ජලාශයේ සමස්ථ ජල පරිමාව ඝණ මීටර් මිලියන 15.83 කි. එමගින් ඝණ මීටර් මිලියන 20 ක් පමණ ගොවිතැන්, පානීය ජලය සැපයීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් නිදහස් කිරීමට යෝජිතය. පහළ මල්වතුඔය ව්‍යාපෘතියට සමගාමීව ඉදිවන දෙවන විශාලම ජල යෝජනා ක‍්‍රමය වන්නේද තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියයි. පුරන්කුඹුරු අක්කර 2000 ක් පමණ මේ යටතේ නැවත වගා කටයුතු සඳහා යොමු කිරීමට අවස්ථාව උදාවන අතර, තවත් වගා බිම් දහස් ගණනකට ජලය සැපයීමටද සැලසුම් කර තිබේ. ජලාශය ඉදිවීමත් සමග නව සංචාරක කලාපයක් බිහිවීමද මෙමගින් ලැබෙන අමතර වාසියකි. එමෙන්ම ආපදා කළමනාකරණය කිරීමේ සැලැස්මක්ද මේ යටතේ කි‍්‍රයාත්මකයි.

මෙම ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස ඊට අදාල ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීම පසුගියදා සිදුවිය. ඒ වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඉන් අනතුරුව දෙදිනක් පුරා ජාලාශයේ ඉදිකිරීම් සැලසුම් නිරීක්‍ෂණය කිරීමද සිදුවිය. කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, ඌව පළාත් විපක්‍ෂ නායක රාමු. රත්නායක, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංයේ ලේකම් කපිල ජයසේකර යන මහත්වරුන් මෙන්ම වාරි ඉංජිනේරුවන් හා ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන චීන සමාගමේ නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම නිරීක්‍ෂණ අතරතුර අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ තල්පිටිගල ජලාශයේ සමස්ථ ඉදිකිරීම් වසර තුන හමාරකින් අවසන් කිරීම රජයේ අපේක්‍ෂාව බවයි. මේ යටතේ ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක බවද ඔහු පැවසීය.

එමෙන්ම උමා ඔය වාපෘතිය හේතුවෙන් ජලය සපයා ගැනීමට නොහැකි වූ සහ විවිධ පීඩාවන්ට පත්වූ පවුල් සිය ගණනකට මෙමගින් ප‍්‍රතිලාභ හිමිකර දීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *