පොල්ගහවෙල දුම්රිය අනතුර ගැන සෙවීමට විශේෂ කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – පොල්ගහවෙල සහ රඹුක්කන දුම්රිය ස්ථාන අතර, පනලිය ප්‍රදේශයේ දී ඊයේ(06) සවස සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ගමනාගමනය මේ වන විට යථා තත්වයට පත් කෙරෙමින් පවති.

එක් දුම්රිය මංතීරුවක් මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කර ඇති අතර, ප්‍රමාද වී හෝ කාර්යාලයීය දුම්රියක් ධාවනය කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය.

කොටුව – මහනුවර දුම්රිය, පොල්ගහවෙල සහ රඹුක්කන අතර ප්‍රදේශයේ දී සංඥා ලැබෙන තෙක් නවතා තිබිය දී, සංඥා නොතකා පිටුපසින් ධාවනය වී ඇති කොළඹ – රඹුක්කන දුම්රිය මහනුවර දුම්රියේ පසුපස ගැටීමෙන් අනතුර සිදුවිය.

අනතුරින් මගීන් 30 දෙනෙකු පමණ තුවාල ලැබීය. ඉන් මගීන් විසි දෙනෙකු පමණ කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණි. තවත් පිරිසක් පොල්ගහවෙල හා කෑගල්ල රෝහල්වලින් ප්‍රතිකාර ලබා තිබේ.

දුම්රිය අනතුර පිළිබඳ සොයා බැලීමට දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, කමිටුවක් ද පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *