යුද සමයේ රටින් ගිය ලාංකීය සරණාගතයින් 27ක් යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය යුද සමයේ දී එයට බියෙන් ඉන්දියාව වෙත පළා ගොස් එරට රැඳවුම් කඳවුරුවල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 27 දෙනෙකු අද(07) යළි ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

උදෑසන 10.55 ට චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 122 දරන ගුවන් යානයෙන් සරණාගතයන් 07 ක් ද , දහවල් 11.10 ට මදුරෙයි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 138 දරන ගුවන් යානයෙන් සරණාගතයන් 07 ක් සහ ට්‍රිචි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 132 දරන ගුවන් යානයෙන් සරණාගතයන් 13 ක් ද පැමිණ තිබේ.

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන, වැඩිදුර පරීක්ෂණ සහ ඔවුන්ගෙන් මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට ජාතික රහස් තොරතුරු ඒකකය වෙත භාර දී තිබේ.

මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසම සහ ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමෙන් අමාත්‍යංශයේ සහය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *