ඉතිහාසයේ වැඩිම බිම් මට්ටමේ වැඩ කළ රජය වත්මන් රජය බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –ගමත් නගරයත් එකසේ දියුණු කිරීමටත්, පොදු ජනතාවට පහසුකම් සැපැයීමටත් ඉතිහාසයේ වැඩිම බිම් මට්ටමේ වැඩ කළ රජය වත්මන් රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාසයේ මෝදර ඉදිකළ බොන්ස්ටා සමාජ සුබසාධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ඊයේ (07) සවස පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෝදර සමාජ සුබසාධන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 230 කි. නීල හරිත ආර්ථිකයක් සහිත සුහුරු, බලගතු නගරයක් නිර්මාණය කිරීමේ කොළඹ මහනගර සභාවේ දැක්ම සහිත “වෙනස් දැක්මක්’ අලුත් කොළඹක්!’ සමාජජාල පහසුව පිණිස නව වෙබ් අඩවිය මෙහිදී අගමැතිවරයාගේ අතින් එළිදැක්විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, වත්මන් රජය බලයට පත්වී වසර තුනක කාලය තුළ ගම් මට්ටමේ බිම් මට්ටමේ විශාල වැඩකොටසක් ආරම්භ කළා. විවෘත කළ ව්‍යාපෘති ගණන දහස් ගණනක්. ජාතික මට්ටමින් අපි රටේ ආර්ථිකය දියුණු කරන්න වැඩ කළා. අපි රටේ ණය බර අඩු කරන්න විදෙස් ණය කන්ද ගෙවීමට වැඩ කටයුතු සිදුකළා. අද වනවිට රටේ අලුත් සංවර්ධන මාවතකට රට යොමු කළා. දැන් ඉදිරි කාලයේ ඉතා වේගවත් සංවර්ධනයක් සිදුකරන්න වෙනවා. දැනට වඩා දෙගුණයක, තෙගුණයක වේගයකින් වැඩ කරන්නට ඉදිරියේදී සිදුවෙනවා. සංවර්ධනයට අවශ්‍ය තරම් මුදල් අපි ලබාදෙනවා යැයි අගමැතිවරයා කීය.

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, කොළඹ පුරපතිනි රෝසි සේනානායක, නාගරික මන්ත්‍රී රෝයි බෝගහවත්ත යන මහත්ම මහත්මීහු මෙහිදී කතා කළහ. මේ අවස්ථාවට මැති ඇමැතිවරු, රාජ්‍ය නිලධාරිහු හා මහජනයා විශාල පිරිසක් පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *