දින දෙකක් තුළ වී අලෙවි මණ්ඩලය වී මෙ.ටො. 978 ක් මිලදී ගනියි

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය අගෝස්තු 04 දින උහන කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කරනලද යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු ඉතා සාර්ථකව මේ වන විට සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

ඒ අනුව පසුගිය දින දෙක තුළ පමණක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලැබූ වී ප්‍රමාණය මෙ.ටො. 978 කි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි 2018 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය විසින් රු.මි.4900 ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. සම්බා වී කී.ග්‍රෑ. 01ක් රු.41ක් සහ නාඩු වී කි.ග්‍රෑ.01ක් රු.38ක් වශයෙන් සහතික මිලකට රජය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගනු ලබයි.වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීම ආරම්භ කරන ලද හෙයින් මේවනවිට ගොවීන් සතු වී තොග,රජයේ සහතික මිලට වඩා රු.10ක් වැඩියෙන් පුද්ගලික අංශය විසින් මිලදී ගන්නා බව වාර්තා වී ඇත.ඒ අනුව වී ගොවීන්ට තම අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර යල කන්නයේ දී ලබා ගැනීමේ අවස්ථාව ලැබී තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන පරිදිමෙවර යල කන්නයේ අපේක්ෂිත වී ප්‍රමාණය මෙ.ටො.මිලියන 1.4 කි. ඉන් මෙ.ටො. 1,20,000ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමට නියමිතය.

මේවනවිටත් යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී ගබඩා සියල්ල විවෘතව තබා ඇති අතර ගොවීන් අපහසුතාවයට පත් නොකර වී මිලදී ගැනීමේ කටයුතු විධිමත්ව සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතාට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *