විපක්ෂ නායක තීන්දුව මේ සතියේ

(කොළඹ, ලංකාපුවත්) –විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂය ඇතුළු හැත්තෑ දෙනකුගෙන් සමන්විත මන්ත්‍රී කණ්ඩායමට ලබා දෙන ලෙස සිදු කර ඇති ඉල්ලීම පිළිබඳ තීන්දුව මෙම සතිය ඇතුළත ලබා දෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව විපක්ෂයේ අසුන්ගෙන සිටින දහසය ‍දෙනාද ඇතුළු කණ්ඩායම වෙත විපක්ෂ නායක ධූරය ලැබිය යුතු බවට පාර්ලිමේන්තුවේදි පැය එකහමාරකට අධික කාලයක් ඇතිවූ උණුසුම් වාදයෙන් පසුව කතානායකවරයා මේ බව සඳහන් කරන ලදි.

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් තවත් නීතිමය කරුණු දෙකක් නිරාකරණය කර ගත යුතු හෙයින් මේ පිළිබඳ පක්ෂ නායක රැස්විමේදී ද සාකච්ඡා කිරීමෙන් පසුව අදාළ තීන්දුව ලබාදෙන බවත් කතානායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායමට ලබා දෙන ලෙස සිදු කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාගෙන් නිල මතය විමසා සිටි බවත් සන්ධානයේ ස්ථාවරය විමසීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් බවත් නිල මතය විමසීමේ කිසිඳු වරදක් නොමැති බවත් කතානායකවරයා පැවසීය.

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය විමසීම කතානායකවරයාගේ වගකීමක් බව පෙන්වාදුන් ජයසූරිය මහතා කතානායකවරයා ලෙස තමන් සෑම අවස්ථාවකදීම සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදි ලෙස කටයුතු කර ඇති බවත් පෙන්වා දුන්‍ නේය.

එමෙන්ම මෙම කරුණ පදනම් කැර ගනිමින් පසුගිය දිනවල තමන්ට එරෙහිව මඩ ප්‍රචාර පවා දියත් කැර තිබූ බවත් ඇතැම් වෙබ් අඩවි තම මියගිය දියණිය පවා සම්බන්ධ කර ගනිමින් මඩ ප්‍රචාර දියත් කළ බවත් කතානායකවරයා කීය.

පාර්ලිමේන්තුවේ ඊයේ (07) දිනට නියමිත වාචික ප්‍රශ්න අවසන් වීමත් සමඟම පාහේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධූරය සම්බන්ධ කරුණ කතානායකවරයාගේ අවධානයට යොමු කළ අතර මේ සම්බන්ධයෙන් ඇති වූ උණූසුම් වාදයේදි පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු 28 ක් අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *