කරුණානිධි මිහිදන් වෙයි – අවමංගල්‍යයේ තෙරපීමකින් 02ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –තමිල්නාඩු, ද්‍රාවීඩියානු දේශපාලනයේ යුගයක අවසානය සනිටුහන් කරමින් අභාවප්‍රාප්ත මුතුවෙල් කරුණානිධි, හිටපු මහ ඇමතිවරයාගේ දේහය අද(08) මිහිදන් කෙරුණි.

ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගි වූ අවමංගල්‍ය උත්සවයේ ඇතිවූ තෙරපීමකින්, දෙදෙනෙකු මියගිය අතර 36 දෙනෙකු තුවාල ලබා තිබෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

චෙන්නායි නගරයේ “කාවරි“ රෝහලේ දී ඊයේ සවස අභාවප්‍රාප්ත වූ 94 හැවිරිදි මුතුවෙල් කරුණානිධිගේ දේහය, අද තමිල්නාඩුවේ රාජා ජී ශාලාව වෙත ගෙන එනු ලැබීය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විපක්‍ෂ නායක රාහුල් ගාන්ධි, සුප්‍රකට නළු රජිනි කාන්තා ඇතුළු දේශපාලඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් එහිදී දේහයට අවසන් ගෞරව දක්වන ලදි.

2016 වසරේ ජයලලිතාගේ අභාවයෙන් පසු තමිල්නාඩුවේ සිටි එකම පරිණත ජාතික මට්ටමේ නායකයා කරුණානිධි වූ බැවින්, අවසන් කටයුතු සිදු කිරීම සඳහා ස්ථානයක් ලබාගැනීමට අද දිනයේ ඩී.එම්.කේ. පක්‍ෂයට නීති සටනක යෙදීමට සිදුවිය. තමිල්නාඩුවේ මහ ඇමතිවරුන් තිදෙනෙකු එනම්, අන්නාදොරේ, එම්.ජී.ආර් හා ජයලලිතා මිහිදන් කර ඇත්තේ මරියානා වෙරළ තීරයේ ය.

තමිල්නාඩු රජය අද අධිකරණය හමුවේ කියා සිටියේ, කරුණානිධිට එරෙහිව නඩු තිබෙන බැවින්, ඔහු මරියානා වෙරළ තීරයේ මිහිදන් කළ නොහැකි බවයි. අනතරුය වහාම අධිකරණය හමුවට ඉදිරිපත් වූ ඩී.එම්.කේ. පක්‍ෂ නියෝජිතයන් එවැනි නීතියක් නොමැති බව පෙන්වා දෙන ලදි. කරුණු සලකා බැලු අධිකරණය, කරුණානිධිගේ දේහය මරියානාහි මිහිදන් කිරීමට අවසර ලබාදුන්නේය.

නඩු තීන්දුව ප්‍රකාශ වීමත් සමඟ කරුණානිධිගේ පුත් ස්ටාලින් හා පවුලේ සෙසු සාමාජිකයන් හැගීම් බරව හඬා වැළපුණු අතර, රැස්ව සිටි ලක්‍ෂ සංඛ්‍යාත ජනයා ප්‍රීති ඝෝෂා කළේය.

අද සවස් භාගයේ අවමංගල්‍යය සිදු කෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව හා හමුදා උත්තමාචාර සහිතවය. කරුණානිධිගේ දේහය ඔහුගේ දේශපාලන ගුරුවරයා වූ සී.අන්නාදොරේගේ සොහොන ආසන්නයෙන් මිහිදන් කරනු ලැබීය.

ඩී.එම්.කේ. පක්‍ෂ යේ නායකත්වය කරුණානිධිගේ පුත්‍ර ස්ටාලින් වෙත පැවරී තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *