වර්ජනය අවසන් කර සාකච්ජාවලට පැමිණෙන්න – ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අවසන් කර සාකච්ජාවට පැමිණෙන ලෙස රජය ඉල්ලා සිටින බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරිම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට තීරණය කර තිබියදී මගීන් අපහසුතාවට පත් කරමින් දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය රජය දැඩි ලෙස හෙළා දකින බව, මුදල් අමාත්‍යවරයා කියා සිටි.

වැටුප් සංශෝධන පිලිබඳ විශේෂ කොමිසම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ද මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පිළිගත් සම්ප්‍රදායන් නොතකා හැර, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දුම්රිය සේවකයින් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අපහසුතාවට පත්වූ දුම්රිය මගීන් සියලු දෙනාට රජයේ කණගාටුව එම නිවේදනය මගින් පළ කර තිබේ.

මේ අන්දමින් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තුළින් දුම්රිය මගීන් අපහසුතාවට පත්කර, රජය අප්‍රසාදය ලක් කිරීමට දුම්රිය සේවකයින් ගත් ක්‍රියාමාර්ගය හෙළා දකින බවද එම නිවේදනයේ සඳහන්වේ.

බස් රථ සඳහා අවශ්‍ය මාර්ග අවසරපත් බලපෑමකින් තොරව ඕනෑම මාර්ගයක ගමන්න් කිරීමට ද පෞද්ගලික බස් රථවලවලට අවසර ලබාදුන් බවත්, මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *