ඥානසාර හිමියන්ට වසර 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 06කින් ගෙවිය යුතු බව නියම කළේය.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව අද(08) ලබා දුන්නේය.

තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා හතරකට උන් වහන්සේ වරදකරු කරණ බවයි.

ඒ අනුව මෙම දඬුවම් නියම කළ අභියාචනාධිකරණය මෙම තීන්දුව පිළිබඳව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත දැනුම්දෙනු මෙන්න නියම කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකරු ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ උන්වහන්සේ අසනීප ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

හෝමාගම හිටපු මහේස්ත්‍රාත් වරයෙකු මෙන් ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් ඥාණසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ 2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා ගොනු කර තිබුණි.

නඩු විභාගයේදී චෝදනා පත්‍රය කියවීමෙන් පසුව වගඋත්තරකාර ඥානසාර හිමියන් සඳහන් කර සිටියේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවයි.

ඒ අනුව දීර්ඝ සාක්ෂි විභාග පැවැති අතර එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ හෝමාගම හිටපු මහේස්ත්‍රාත් මෙන්ම කොළඹ වත්මන් ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු පොලිසියේ සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් සාක්ෂි ලබාදී තිබුණි.

විත්තිය වෙනුවෙන් වගඋත්තරකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ මෙම සිද්ධිය හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.

රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *