ඉන්දීය රජය සහ ජනතාව ශ්‍රී ලාංකිකයන් සමඟ නිබඳව සිටිනවා – ඉන්දීය අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය රජය සහ ජනතාව සාමය සහ සෞභාග්‍යය කරා පියනගන ශ්‍රී ලාංකේය ජනතාව සමඟ නිබඳව සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සෑමවිටම ඉන්දියාවට සුවිශේෂී වූ බවත් ඉදිරියටත් එසේම සුවිශේෂී වන බවත් ඉන්දීය අගමැතිවරයා පෙන්වා දුන්නේය.

වතුකරයේ ක්‍රියාත්මක ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉදිකළ නිවාස ජනතා අයිතියට පත්කිරීම සහ තවත් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ පණිවිඩයක් යොමු කරමින් මේ බව පැවසීය.

සිය විශේෂ පණිවිඩය මගින් අගමැති මෝදි මහතා අලුතෙන් ඉදිකරන ලද තනි නිවාසවල අභිමානවත් හිමිකරුවන්ට සුබපැතුම් පිරිනැමීය. මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස හිමිකරුවන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය සහිතව සුවිශේෂී අයුරකින් ක්‍රියාත්මක කළ බව පෙන්වා දුන් එතුමා ඇමරිකානු ඩොලර් මිලියන 350කට වැඩි ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉන්දීය නිවාස ව්‍යාවපෘතිය ඉන්දීය අධාර යටතේ විදේශ රටක ක්‍රියාත්මක කර ඇති විශාලතම ව්‍යාපෘතිය බව ප්‍රකාශ කළේය. ඉන්දියාව පොරොන්දු වී ඇති නිවාස 60,000න් මේ වන විට නිවාස 47,000කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර ඇති බව ද එතුමා සිහිපත් කළේය.

එසේම පසුගිය මාසයේ දී ශ්‍රී ලංකාව පුරා දියත් කරන ලද පූර්ව රෝහල් හදිසි ගිලන්රථ සේවය, 2017 අගෝස්තු මාසයේ දී කොළඹ සිට වරණාසි දක්වා ආරම්භ කරන ලද එයා ඉන්ඩියා ගුවන් ගමන්, වතුකරයේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඊයේ (12) අත්සන් තබන ලද ගිවිසුම යනාදිය සිහිපත් කළ අගමැතිවරයා මෝදි මහතා පසුගිය වසරේ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට හැකිවීම පිළිබඳ සිය සතුට ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සෑමවිටම ඉන්දියාවට සුවිශේෂී වූ බව සහ ඉදිරියටත් එසේම සුවිශේෂී වන බව පැවසූ එතුමා ඉන්දීය රජය සහ ජනතාව සාමය සහ සෞභාග්‍යය කරා පියනගන ශ්‍රී ලාංකේය ජනතාව සමඟ නිබඳව සිටින බව අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *